https://www.gossiplankanews.com/2019/09/sajith-ranil-discussion.html
සුගිය කාලයේ වැඩි වශයෙන්ම කථාබහට ලක්වූ එජාප ජනපති අපේක්ෂකයා තේරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (10) රාත්‍රී එජාප නායක රනිල් හා නියෝජ්‍ය නායක සජිත් අතර පැවැත්විණි. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නට පසුබිමේ සජිත් ජනපති අපේක්ෂකයා කරමු යන යෝජනාව
සහිතව සජිත්ද සහභාගීවූ ප්‍රාදේශීය රැස්වීම් කිහිපයක් පවත්වා තිබීමත් එජාපයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු සජිත් අපේක්ෂකයා කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ වැඩ කිරීමත් වාර්තා වී තිබුණි.
මේ වනවිටත් ප්‍රධාන පක්ෂ වලින් පොදු ජන පෙරමුණ ගෝඨාත්, ජවිපෙ අනුරකුමාරත් ශ්‍රීලනිප මෛත්‍රී හෝ යම් අයෙකුත්  ජනපති අපේක්ෂක ලෙස නම් කර හෝ ඊට සූදානම්ව තිබෙන පසුබිමක එජාපයේ ජනපති අපේක්ෂකයාගේ තීරණය ඉක්මණින් ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

අරලියගහ මන්දිරයේදී රහස්‍ය ලෙස පැවති සාකච්ඡාව මාධ්‍යයට නිරාවරණය නොවූ අතර සාකච්ඡාවෙන් පසු එළියට පැමිණි දෙදෙනෙකු පමණක් අද (11) උදෑසන

වනවිට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. සාකච්ඡාවේ පෙනී සිටි සජිත් දන්වා ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡාව සාර්ථක බවත් එහි ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී දැක ගැනීමට හැකිවනු ඇති බවත්
ඉදිරියේදීත් මෙවැනි සාකච්ඡා පවත්වන බවත් තමා හා අග්‍රාමාත්‍යවරයා අතර ගැටුම්කාරි තත්ත්වයක් ඇති නොවූ බවත්ය.

කෙසේ වෙතත් තමාව ජනපති අපේක්ෂකයා ලෙස නම් කළ බවක් ඔහු කියා නැති අතර එසේ කළා නම් නිල වශයෙන් ප්‍රකාශ වනතුරු ඔහු ඒ ගැන නොකියා සිටියාද නැතිනම් වෙනත් යෝජනාවක් ගැන හෙළි කිරීම අවාසි බැවින් නොකියා සිටියාදැයි පැහැදිලි නැත.
මේ අතර සාකච්ඡාවේ සිටි ඇමති මලික් සමරවික‍්‍රම  සකච්ඡාව අවසානයේ මාධ්‍යයට කියා ඇත්තේ සාකච්ඡාව අවසන් අදියරට නොගිය බවත් ජනාධිපති අපේක්‍ෂකත්වය ගැන තීරණයක් ලබා නොගත් බවත්ය.

මේ අතර මේ සාකච්ඡා අසාර්ථකවූ බවට විපක්ෂයට හිතවාදී මාධ්‍ය පුවත් පළ කර තිබෙන අතර සජිත් හිතවාදී සමාජ මාධ්‍ය පවසා ඇත්තේ සජිත් ජනපති අපේක්ෂක කරන්නට රනිල් කැමතිවූ කතාවකි.
කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි වාර්තා කරන්නේ සජිත් ජනපති අපේක්ෂක ලෙස පිළිගැනීමට රනිල් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුගේ පවතින අකමැත්ත මත මෙම තීරණය තවම ගෙන නැති බවයි.

එයට බලපෑ කාරණා ලෙස වාර්තා වන්නේ ග්‍රාමීය බහුතරය තුළ සජිත් ගමට වැඩ කරන්නෙකු ලෙස ලබා තිබෙන ජනප්‍රියත්වය මැතිවරණයේදී වාසි සහගත වුවද නාගරික සමාජයේ සජිත්ට පිළිගැනීම අවම වීමයි.

දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කිරීම, සියලු ජාතීන් අතර ප්‍රකට නමක් දිනාගැනීම වැනි කාරණා ජනපති අපේක්ෂකයෙකුට රටේ බහුතරය දිනාගැනීමට වැදගත් වන නමුත් එම කරුණු වලදී සජිත්ගේ නමට ලකුණු අඩු බව මෙම කිහිපදෙනා විශ්වාස කරති.

සජිත්ගේ සුදුසුකම් වඩාත් වැදගත් වන්නේ ඉදිරි මහමැතිවරණයේ බවටත් අගමැති අපේක්ෂකයෙකු ලෙස සජිත්ට ඉදිරි මහමැතිවරණයකදී අවස්ථාව සලසා ඔහුගේ රැල්ලටද සාධාරණයක් ඉටු කර ජනපති අපේක්ෂකත්වය වෙනත් අයෙකුට පැවරිය හැකි බව එජාප ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනාගේ අදහසයි.

සජිත් වෙනුවට යෝජනාවී තිබෙන නම් අතර කතානායක කරු ජයසූරිය හා අගමැති රනිල් වික්‍රමසිංහ පෙරමුණේ සිටින අතර එම යෝජනාවන් සාධාරණීකරණය කිරීමට මේ වනවිට සමීක්ෂණ දත්ත ඇසුරින් වාර්තා එළිදැක්වීමටද එජාප ජ්‍යෙෂ්ඨයින් හා සම්බන්ධිත පිරිස් කටයුතු කර ඇත.