දඹදිව සංචාරය කිරීමෙන් පසු මෙරටට පැමිණන සංචාරකයන් මැලේරියා උණ පරික්ෂාව සිදුකර ගත යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

ශ්‍රී ලංකාව, මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට ලෝක සංධානය 2016 දී ප්‍රකාශ කර ඇති අතර දඹදිව සංචාරය කිරීමෙන් පසු මෙරටට පැමිණි සංචාරකයන් කිහිප දෙනකුටම මැලේරියාව වැලදී ඇති බව ඉකුත් සතියේදී හඳුනාගෙන තිබේ.

තෙල්දෙණිය,
පොල්ගොල්ල, වට්ටාරතැන්න සහ අගුණකොළපැලැස්ස වැනි ප්‍රදේශවලින් රෝගීන් පස්දෙනකු හඳුනාගෙන ඇති නමුත් එය ශ්‍රී ලංකාවට මැලේරියාව යළි ව්‍යාප්ත වීමට කිසිසේත්ම බලනොපාන බව මැලේරියා
මර්දන ව්‍යාපාරයේ  අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහතා පැවසීය.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ දත්ත අනුව වාර්ෂිකව ලක්ෂ පහක පමණ පිරිසක් දඹදිව වන්දනාවෙහි යෙදෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි මලේරියා රෝගය බහුලව ව්‍යාප්ත වී ඇති රටවල් අතර ප්‍රධාන පෙළේ ස්ථානයක් ඉන්දීයාව උසුලන අතර ජන ඝණත්වය හා රටෙහි විශාලත්වය හේතුවෙන් එය මර්දනය කිරීම ඉන්දියාවට ගැලුවක් වී තිබේ.

මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් ලබාදෙන ඖෂධ පෙති භාවිතය සහ මදුරු දෂ්ටනවලින් හැකිතාක් වැළකී සිටිය යුතු බවත් සංචාරය නිම කොට මෙරටට පැමිණි පසු වෛද්‍ය පරීක්ෂාවක් සිදුකර ගැනීම වඩා උචිත යැයිද ඒ මඟතා කීවේය.

මහනුවර - නදීක දයා බණ්ඩාර