https://www.gossiplankanews.com/2019/09/horowpathana-two-deaths.html
විශ්ව බලයෙන් රෝගීන් සුවපත් කරන බව කියන දීගොඩ කුමාරගේ වැඩසටහනකට සහභාගිවූ පුද්ගලයෙකු සහ කාන්තාවක මියගොස් තවත් පුද්ගලයන් දහ අට දෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත වූ පුවතක් හොරොව්පොතාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි. හොරොව්පොතාන මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩා පිටියේදී
මෙම වැඩසටහන පෙරේදා (07 වැනිදා) දහවල් පැවැත්වී ඇත.
වැඩසටහන අතරතුරදී අසාධ්‍ය වූ පිරිස වහාම හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. එහිදී, කළුතර,මහවස්කඩුව පදිංචි තිස්නව හැවිරිදි දිනූෂාද සිල්වා සහ ගාල්ල, වඳුරඹ පදිංචි හැත්තෑ අට හැවිරිදි ඒ.එම්. රණවක යන දෙදෙනා මෙලෙස මියගොස් ඇත.

මියගිය කාන්තාව අවුරුදු දොළහක පමණ කාලයක් තිස්සේ අංශභාග රෝගී තත්ත්වයෙන් පෙළුණු කාන්තාවක් බවත්, අනෙක් පුද්ගලයා හෘදයාබාධයකින් පෙළුණු අයෙකු බව කියයි. අසාධ්‍ය තත්ත්වයෙන් දහ අට දෙනකු හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දාහතර දෙනකු (14) අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීම මත ප්‍රාදේශීය සභාවේද සහාය ඇතිව පැවති මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ පෙරේදා (07දා) පස්වරු දෙකට පමණය.

මෙම වැඩසටහන සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් ඇතුළු පුද්ගලයන් විසිපන්දහසකට අධික පිරිසක් පැමිණ ඇත.

ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක් බෝධි පූජාවක්ද පවත්වා මෙම වැඩසටහන අරඹා ඇත. වැඩසටහන පැවැත්වූ දීගොඩ කුමාර නමැති අය මීට පෙර අම්පාර ප්‍රදේශයේද දේව බලයෙන් රෝගීන් සුවපත් කිරීමේ වැඩසටහනක් පවත්වා ඇති අයෙකි. සිය රෝගී තත්ත්වයන් සුවපත් කර ගැනීම සදහා හොරොව්පොතාන පැවැති මෙම වැඩසටහනට හෘද රෝගීන්,වකුගඩු රෝගීන්,පිළිකා රෝගීන්, දෑස් නොපෙනෙන පුද්ගලයන්, ඇවිදීමට අපහසු පුද්ගලයන් පැමිණ ඇත.

ප්‍රදේශයේ දැඩි අව්රශ්මියක් පැවැති අවස්ථාවේදී මෙම රෝගීන් සුවපත් කිරීමේ වැඩසටහන පවත්වා තිබේ. ඇතිවූ මෙම අවාසනාවන්ත තත්ත්වයට දැඩි අව් රශ්මිය හේතුවක් වූ බවට විශ්වාස කෙරේ. මෙහිදී අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවන ලද රෝගීන් සම්බන්ධව එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත ප්‍රනාන්දු මෙලෙස පැවසීය.

"රෝග සුව කරන බවට කරන ව්‍යාජ දැනුවත් කිරීම් මගින් මිනිස්සු විවිධ ස්ථානවලට රැස් කරනවා. වැඩි කාලයක් අව්වේ, එළිමහනේ රැඳී සිටීම නිසා වියපත් අයට ක්ෂණික සංකූලතා තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් වකුගඩු, පිළිකා රෝගී තත්ත්වයන් තිබෙන පුද්ගලයන්ට. අපි ඉල්ලන්නේ මෙවැනි දේවල් වලට රැවටෙන්න එපා කියලායි. රෝහලෙන් මාරුකර එවන ලද ඇතැම් රෝගීන් නොදන්වා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. තවත් තිදෙනෙකු බරපතළ තත්ත්වයෙන් පසුවෙනවා" යැයි රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසීය.


සිද්ධියෙන් මියගිය කළුතර වස්කඩුව මහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පී. දිනුෂා ද සිල්වා නමැති කාන්තාව සහ කූරගල දික්හේන වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි හෘද රෝගියකු වන ඒ.ඒ. රණවක නමැති අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (8 වැනිදා) හොරොව්පොතාන ප්‍රාදේශීය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් හොරොව්පොතාන මහජන ක්‍රීඩාංගණයට රැස්ව සිට ඇත. අනතුරුව සවස 2.00ට පමණ දීගොඩ කුමාර නමැත්තා විසින් අදාළ ආගමික මෙහෙය ආරම්භ කොට පැයකට පමණ පසු එහි පැමිණ සිටි රෝගී පිරිසක් සිහිසුන්ව සහ ක්ලාන්තවී ක්‍රීඩාපිටිය තුළම ඇදවැටී ඇත. රෝහල්ගත කර ඇත්තේ ඉන් අනතුරුවය.

එම ආගමික මෙහෙය ඊයේ (8 වැනිදා) දිනද පැවැත්වීමට නියමිතව තිබූ අතර පෙරේදා (7 වැනිදා) ඇතිවූ මෙම අවාසනාවන්ත සිදුවීමත් සමග එය අතරමග නතර කිරීමට එහි සංවිධායකයෝ පියවර ගත්හ. මෙම වැඩසටහන මෙහෙයවූ පුද්ගලයාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත්, ඒ පිළිබඳව සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශන කටයුතු පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එමෙන්ම මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසුව එම වාර්තාවට අනුව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවැසීය. හොරොව්පොතාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(සාලිය කුමාර ගුණසේකර/පර්සි කුරුනේරු -අනුරාධපුර )