වෙන්නප්පුව සිරිගම්පල පොලිස් මාර්ග බාධකයක් අසළදී පොලිස් රාජකාරියට බාධා කරමින් අශෝබන ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනී දුලක්ෂි චමෝදරී ප‍්‍රනාන්දු සහ ඇගේ වැඩිමහල්
සොහොයුරිය සුපුනි දුලාංජලී යන දෙදෙනා  ඉකුත් 21 දා සිට 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර  යළි සැප්තැම්බර් 11 වන දා දක්වා රක්ෂිත භාරයේ තැබීමට මාරවිල මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා ඊයේ (06)දා නියෝග කළේය.


ඉකුත් 19 දා සිදු වූ එම සිදුවීම සම්බන්ධව ඔවුන්ගේ පියා වන සමන් අශෝක ප‍්‍රනාන්දු සහ සොහොයුරිය වූ නිමාෂා නවාංජලී ප‍්‍රනාන්දු යන දෙදෙනා 21 දා ඇප මත මුදා හැර තිබූ අතර, ඔවුන්ද අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. ඔවුන් රුපියල් ලක්ෂ එකහමාර බැගින් වූ ශරීර ඇප මත 19 වන දා මුදා හැර තිබිණි.

ලූණුවිල සිරිගම්පොල සීනෝර් ජනපදය අසළ දී මන්ත‍්‍රීවරියගේ  නැගණියක ආරක්ෂිත හිස්වැසුම් හා රියදුරු බලපත‍්‍ර රහිතව යතුරුපැදියකින් ගමන් කිරීමේදී අත්අඩංගුවට  ගැනීමේ සිද්ධියක් මත මෙම නඩුව ඉදිරිපත් වූ අතර, එම සිද්ධියේ වීඩියෝ පටයක්ද රූපවාහිනී මාධ්‍ය සහ සමාජ මාධ්‍යජාලා ඔස්සේ මෙන්ම මුද්‍රිත මාධ්‍ය මගින් ද ඉකුත් 20,21 ට ආසන්න දිනවල ප‍්‍රචාරය විය.

වෙන්නප්පුව වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක හැරල්ඞ් රොෂාන්, රථවාහන අංශයේ ස්ථානාධිපති, නෙල්සන් පීරිස් යන මහත්වරුන්ගේ උපදෙස් මත සැරයන් 31561 විජේසිරි, 31613 උපාලි වීරසිංහ, කොස්තාපල් 36245 ජයසේකර සහ උසාවි සැරයන් 31813 කරුණාරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතීඥ ලලන්ත සරච්චන්ද්‍ර මහතා පෙනී සිටියහ.

නාත්තන්ඩිය රෙක්ස් හැරිසන්