https://www.gossiplankanews.com/2019/09/fbi-urea-nitrate-april-attack-sri-lanka.html#more
පාස්කු ඉරිදා සහරාන්ගේ අන්තවාදී කල්ලිය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර හතම යූරියා නයිට්‍රේට් පුපුරන ද්‍රව්‍ය යොදාගෙන කර ඇති බවට තහවුරු වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශ (FBI) හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ලබාදුන්
විමර්ශන වාර්තාවලින් ඒ බව එලෙස තහවුරු වෙයි.

ප්‍රහාර හතම එල්ල කිරීමට යූරියා නයිට්‍රේට් පුපුරන ද්‍රව්‍ය යොදාගෙන ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායම් හතක් ​යොදා කළ විමර්ශන​යේදී තහවුරු වූ බව රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංග පැවැසීය.


මේ සම්බන්ධව වන අපරාධමය වාර්තා සතිදෙකක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන බවත් කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ පිපුරුම සම්බන්ධව අපරාධ වාර්තාව මුලින්ම ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

කොච්චිකඩේ දේවස්ථානය, මඩකලපුව, සියොන් දේවස්ථානය, මීගමුව කටුවපිටිය දේවස්ථානය, ෂැංග්‍රිලා හෝටලය, කිංග්ස්බරි හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය හා දෙහිවලදී සහරාන් කල්ලිය මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළහ.එම ප්‍රහාරවලට අමතරව සයින්දමරුදු ප්‍රදේශයේ හා දෙමටගොඩ නිවාස සංකීර්ණයේ සිදුකරගත් මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධවද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබිණි.

මෙම පිපුරුම් සඳහා නයිට්‍රෝ කාණ්ඩය ඇතුළත් වන බවත් පිපිරීම සඳහා බහුලව යූරියා නයිට්‍රේට් භාවිත කර ඇති බවත් මෙම විමර්ශනවලදී තහවුරු කර ඇත.

‘වෝටර් ජෙල්, ජෙලග්නයිට්, ඩයිනමයිට්වල නයිට්‍රෝ බේස් තියෙනවා. ඒවත් එකතු කරගෙන බලය වැඩිකිරීම සඳහා මෙම උත්සාහය ගෙන තියෙනවා. මෙහිදී වැඩිම හානියක් කිරීම ත්‍රස්තයන්ගේ අරමුණයි. ඉලෙක්ට්‍රොනික් පරිපථ සඳහා සෑම බෝම්බයකටම වොට් නවයේ බැටරි හයක් යෙදූ පෙට්ටියක් යොදාගෙන තිබෙනවා. පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ත් 13ත් අතර හැම එකකටම යොදාගෙන තියෙනවා යැයි විමර්ශන සිදුකළ පුපුරන ද්‍රව්‍ය විශේෂඥයෙක් අනාවරණය කළේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා