ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශනයන් හි සත්‍ය අසත්‍යතාව සහ වැඩිදුර කරුණු ගවේශනය කිරීමේ  (Fact Checking)අරමුණින්  Fact Crescendo ආයතනය තම කටයුතු ශ්‍රී ලංකාව දක්වා පුළුල් කර ඇති බව පසුගියදා ෆේස්බුක් (Facebook) ආයතනය විසින් දැනුම් දෙන ලදි.
සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරු වන සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා තුනටම අයත් අසත්‍යය පුවත් මේ යටතේ ආවරණය කරන බවත්, මෙහිදී යම් පුවතක් Fact Crescendo Sri Lanka ආයතනය මගින් අසත්‍ය පුවතක් බවට තහවුරු කළ පසු එය ෆේස්බුක්හි හුවමාරුවී බොහෝදුරට සිමාවනු ඇති බවත් කියයි.

මෙම Fact Crescendo Sri Lanka යනු ඉන්දියාවේ ස්ථාපිත Fact Crescendo ආයතනයේ කොටසක් වන අතර, ශ්‍රී ලංකාවේ ෆේස්බුක් හි පළවන තොරතුරුවල සත්‍ය කරුණු ගවේෂණය කර නිරවද්‍යතාව
ශ්‍රේණිගත කිරීම් කටයුතු මෙම ස්වාධීන කණ්ඩායම
මගින් සිදු කෙරෙනු ඇති බව ඔවුන් පෙන්වා සෙයි.

මෙම පත්කිරීම පිළිබඳ කරුණු දක්වා ඇති Fact Crescendo කර්තෘ මණ්ඩල ප්‍රධානී රාහුල් නම්බුරී මහතා පවසා ඇත්තේ, ෆේස්බුක් ආයතනය මගින් තෙවැනි පාර්ශ්වය සතර කරුණු ගවේෂණය කිරීම සදහා තම ජාලය ශ්‍රී ලංකාව දක්වා පුළුල් කිරීම සම්බන්ධව ඉතාමත් සතුටට පත්වන බවය. අසත්‍ය තොරතුරු හැකිතාක් දුරට අවම කිරීමට නිරන්තරයෙන්ම කැපවී සිටින Fact Crescendo ආයතනය, සමාජ ජාල සහ ප්‍රධාන මාධ්‍ය දහරාවේ සැක සහිත පුවත් විශ්ලේෂණ කිරීමෙන් පසුව, නිවැරදි පුවත් අනාවරණය කිරීමට බැඳී සිටින බවද හෙතෙම  වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Fact Crescendo යනු ෆේස්බුක් ආයතනය මඟින් පත්කළ, ඉන්දියාවේ දැනට සත්‍යය කරුණු ගවේෂණය කිරීමේ කටයුතු සඳහා නම් දරා ඇති නිදහස් සහ අපක්ෂපාතී ආයතනයක් බවද ඔවුන් කියයි. එමෙන්ම, පසුගිය ඉන්දීය මහ මැතිවරණ සමයේදී මෙම ආයතනය සත්‍යය කරුණු ගවේෂණය කිරීමේ කටයුතු සඳහා සජුවම සම්බන්ධ වූ බවත්, මේ වනවිට 3,000කට අධික කරුණු අනාවරණයන් සිදුකර ඇති බවත් සඳහන් කරයි. International Fact Checking Network (IFCN) ජාත්‍යන්තර ජාලය මගින්, Fact Crescendo ආයතනය සත්‍ය කරුණු ගවේෂණය කිරීමේ අනුමත ආයතනයක් ලෙස වර්ග කර ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. www.srilanka.faclcrescendo.com යන වෙබ් අඩවිය හරහා තවදුරටත් තොරතුරු ලබාගත හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසයි.


ෂමිල පෙරේරා