ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පානදුර  ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයාගේ  නිවසට ගිය දැරියන් දෙදෙනකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එම ගුරුවරයා ඊයේ (17) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ 36 හැවිරිදි එක් දරු පියකු වන පිරිවෙන් ගුරුවරයෙකි.

අතවරයට පත් දැරියන් දෙදෙනා පෙරේදා
(16)පෙරවරු අටයි තිහට පමණ සැකකාර ගුරුවරයාගේ නිවසට ගොස් ඇත්තේ පැය දෙකක කාලයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට බව සිදුකළ මූලික විමර්ෂනවලදී හෙළිවූ බව පොලිසිය කියයි.

ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත මෙම දැරියන් දෙදෙනා ගුරුවරයාගේ නිවසට යනවිට  නිවසේ සිට ඇත්තේ ගුරුවරයා පමණක් බව පොලිසිය කියයි. සැකකරු ඔහුගේ බිරිඳ මවගේ නිවසට පිටත් කර යවා තිබූ බව පොලිසිය කියයි.

දැරියන් දෙදෙනා අසලට පැමිණ තිබූ සැකකරු සිය බිරිඳ නිවසේ නොමැති බවත් තේ හදන්න පුළුවන් කාටදැයි මුලින්ම විමසා උපක්‍රමශීලිව දැරියන් දෙදෙනා වෙන්කර වරින් වර අතර කර ඇති බවත් එම දැරියන් කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

සැකකාර ගුරුවරයාගේ නොමනා ක්‍රියාට විරුද්ධත්වය දැක්විමට දැරියන්ට අවශ්‍ය වුවද ඇති වූ බිය හේතුවෙන් ඒ බව සැකකරුට නොඅඟවා පංතිය නිමවන තෙක් සිට නිවසට ගොස් ඒ බව දැනුම් දීමෙන් අනතුරුව පොලිසියට ලද පැමිණිලි අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු ඊයේ (17)පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ අරුන් දිපාල් මහාතා පෙනි සිතීමට නියමිතව තිබිණි.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-