කුරුණෑගල වැව රවුමේ අලංකාරය සදහා තබා ඇති ගෝලාකාර හැඩැති සිමෙන්ති නිර්මාණ 37ක් බිඳදමා විනාශ කළ බවට පැවසෙන පුද්ගලයෙකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, වැව රවුම ආසන්නයේම පිහිටි ගොඩිලික්වත්ත
ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු බීමතින් පැමිණ  මෙම විනාශය සිදුකර ඇති  බව අනාවරණය වී ඇති අතර, කුරුණෑගල වැව රවුමේ වයඹ ප්‍රධාන අමාත්‍ය නිල නිවස අසල සිට වයඹ නියෝජ්‍ය පොලිස්පති නිල නිවස දක්වා අතර කොටසේ තබා ඇති සිමෙන්ති නිර්මාණවලට මොහු 
හානි කර තිබේ.

මුගුරකින් පහර දීමෙන් මෙම විනාශය සිදුකර ඇති මොහු බීමතින් පැමිණ  මෙම විනාශය සිදුකර ඇති අතර, නියෝජ්‍ය පොලිස්පති නිල නිවස ඉදිරිපස තිබු  සිමෙන්ති නිර්මාණවලට පහර දෙමින් සිටියදී එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලීසියට භාරදී තිබේ.

ගෝලාකාර හැඩයෙන් යුත් මෙම සිමෙන්ති නිර්මාණ කුරුණෑගල වැව රවුමේ අලංකාරය සඳහා ඉදිකළ විදුලි බල්බවල ආරක්ෂාවට සහ අලංකාරය සඳහා යෙදූ ඒවා බවත්, මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම මෙම සිමෙන්ති නිර්මාණවලට හානි කර තිබූ බවත් පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-ගීතාංජලී ප්‍රියදර්ශනී-