ස්මාර්ට් රියැදුරු බලපත‍්‍රය නිකුත් කිරීමේ වසර හතක ගිවිසුම් කාලය ඉක්මවා තිබියදීත් එකී සමාගමට අදාළ කොන්ත‍්‍රාත්තුව තවත් වසර දෙකක කාලයක් සඳහා ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 400 ක පමණ අලාභයක් සිදුවී ඇතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවේ ඊයේ (4 වැනිදා) අනාවරණය විය.
පසුගිය අගෝස්තු මාසයේදී පමණක් රියැදුරු බපත‍්‍ර 92000 ක් නිකුත් කර ඇති බවත් සාමාන්‍යයෙන් මාසයකට රියැදුරු බලපත‍්‍ර 6000 ත් - 70000 ත් අතර ප‍්‍රමාණයක් නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කමිටුව හමුවේ ප‍්‍රකාශ කර සිටියේය.

රියැදුරු බලපත‍්‍රයක් සඳහා අයදුම්කරුවකුගෙන් රුපියල් 1700 ක් අයකර ගන්නා බවත්, ඉන් රුපියල් 1340 ක් අදාළ පෞද්ගලික සමාගමටත් ඉතිරි රුපියල් 360 රජයටත් බෙදී යන බවද මෙහිදී අනාවරණය විය.

සමාගම සමග ඇති කරගත් ගිවිසුම අලූත් කරමින් ලබාදුන් කාලයත් මෙම මාසයේදී අවසන් වන
නමුත් එම කටයුතු රජයට පවරා ගැනීමට මෙතෙක් සූදානමක් නැති බවත් එය තවත් වසරකට අදාළ කාලයක් සමාගමට පැවරීම සඳහා තීරණයක් ගෙන ඇතැයිද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේදී අනාවරණය කර ගන්නා ලදී.

වසර හතකට අදාළ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමෙන් පසුව ස්මාර්ට් රියැදුරු බලපත‍්‍ර සකස් කිරීමේ තාක්‍ෂණය අදාළ සමාගම විසින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු වුවද වසර දෙකහමාරක් ගතවී තිබියදීත් එවැන්නක් සිදුවී නැතැයිද හෙළි විණි. එමෙන්ම එවැනි පුහුණුවක් ලබා ගැනීමට තරම් කාර්ය මණ්ඩලයක් දෙපාර්තමේන්තුව සතුව නැතැයිද නිලධාරීහු පැවසූහ.

ස්මාර්ට් රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ කාර්යය රජයට පවරා ගන්නා ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් පීරිස් මහතාට නිර්දේශ කළේය.

ගිවිසුම් ගත කාලය අවසන් නොකිරීම නිසා රජයට අහිමි වූ මුදල පිළිබඳ වගකීම නව විගණන පනතට අනුව ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාට භාර ගැනීමට සිදුවනු ඇති බවත් සභාපති ලසන්ත අලගියවන්න මහතා ලේකම්වරයාට සහ කොමසාරිස්වරයාට පැවසීය.

ගිවිසුමට අනුකූලව අදාළ සමාගම විසින් ඉටු කළ යුතු කාර්යයන් සිදුකර ඇත්ද, නොකළ කාර්යයන් මොනවාද යන්න පිළිබඳවත් සති දෙකක් ඇතුළත රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කළේය.

කුෂාන් සුබසිංහ, රනිල් ධර්මසේන