https://www.gossiplankanews.com/2019/09/damma-dissanayake-speaks.html
අප ජීවත් වනුයේ බොහෝ ආධ්‍යාත්මික සබඳතා මැරුණු සමාජයක බවත්, මෙය අප නැවත සකස්
කළයුතු බවත් සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පැවසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ
පෙ‍රේදා (09දා) රත්නපුර කුමාර විද්‍යාලයේ පැවැති ළඟම පාසල හොදම පාසල වැඩසටහන යටතේ නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහනේ සබරගමුව පළාත් නිල උත්සවයට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ධම්ම දිසානායක මහතා, "අකිල විරාජ්  කාරීයවසම් මහතාගේ සංකල්පයකට අනුව ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. අපි ඒ ගැන සිහිපත් කළ යුතුයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ ශිෂ්‍යයක්. මම ගොඩක් සතුටු ‍වෙනවා ගෝලයකුගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළකට ගුරුවරයෙකු ලෙස

සම්බන්ධ වීමට ලැබීම සම්බන්ධව.
මම පාසලට පැමිණි දෙවැනි වතාව මෙයයි. මේ පාසලේ පිළිවෙළ,පිරිසිදුකම වගේම විධිමත් බව ගැන මට හරි සතුටුයි. මම හිතනවා  එයට හේතුව නායකත්වයයි. මේ පාසල ගැන සතුටු විය හැකි දේ තමයි විනය. එවැනි දරුවන් පාසලට පමණක් නොව රටටත් ගෞරවයක්, නමුත් මේ පාසලේ එක් අඩුවක් පවතිනවා. ඒ ගැහැනු ළමුන් නැතිකමයි‍.

මේ රටේ අමුතුම වර්ගවාදයක් පවතිනවා. අපි සෑම අවස්ථාවකම ‍බෙදී සිටින්නේ. 1823දී කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ මගින් මුල් වරට ජනවර්ග ලෙස බෙදීමට ලක් කළා. මෙය හරීම ඛේදවාචකයක්.  අප දන්නවා යුරෝපා රටවල ඇත්තේ පිරිමි, ගැහැනු ලෙස බෙදුණ පාසල් නොව මනුෂ්‍ය පාසල්. ඔවුන් එම ආකෘතිය අපට ඉදිරිපත් කළත් අප වෙනම ආකෘතියක් හදා ගත්තා. එකම පොතේ සාමයි අමරයි ගැන අප ඉගෙන ගත්තත් එම පොත පාවිච්චි කරන සාමා අමර සිටින්නේ තාප්ප දෙකකින් එහායි. අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදනයේ ති‍යෙන අඥානකමට මීට වඩා නිදර්ශන තියෙනවද? ඒතුළ ජාතික සමගිය ඇති කිරීමට උත්සහ කිරීමත් විහිළුවක්, ම‍ම මේ ගැන කතා කරන්නේ සබරගමුව පළාත ගැන පමණක් නොවේ. ගැහැනු, පිරිමින් ‍වෙනම සිටින පාසල් අපි වහාම අහෝසි කොට ඒවා මිශ්‍ර පාසල් බවට පත්කළ යුතුයි.

බුදුහාමුදුරුවන් දේශනා කරල තියනවා ගැහැනියක් හා පිරිමියෙක් කියා නොමැති බවත්,
ඇත්තේ සම්මුතියක් පමණක් බවත්. නමුත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය චීන මහා ප්‍රාකාරය මැදින් බැද ඇතිවා මෙන් මෙය

දෙකක් බවට පත්කර ති‍බෙනවා. ඔවුන් ගෙන ඇති වැරදි තීරණයක් බවත්, අපිව මානසික රෝගීන් නොකර මේ මැදින් ඇති තාප්පය ඉවත් කළ යුතු බවත් අපි ප්‍රතිපත්ති සම්පාදකයන්ට පෙන්වා දිය යුතුයි.ගැහැනු ළමුන් පමණක් සිටින හෝ  පිරිමි ළමුන් පමණක් සිටින පාසල්වල ළමුන් පාසලෙන් එළියට ආවම දන්න  එය මිශ්‍ර සමාජයක් බව. එම නිසා ගැහැනියට පිරිමියාත්, පිරිමියාට  ගැහැනියත් තේරුම් ගැනීමට අපහසු  වී තිබෙනවා. එය දැවැන්ත මානව අපරාධයක්.

 අප ඉදිරියේදී ගුරු පත්වීම්  ලබාදෙනවා. ඊට අදාළ සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙන ආකාරය උගැන්වීමට රත්නපුරේ උසස් අධ්‍යාපන ආයතනයක ටියුෂන් පන්තියක් පැවැත්වෙනවා. මෙයයි අප රටේ ගුරු  වෘත්තියට තිබෙන තැන. ගුරු වෘත්තිය යනු පූජනීය දෙයක්. ගුරුවරයෙක් යනු වෙනම ලෝකයක්, ‍වෙනම හැගීමක්.නමුත් අද මෙය කළු කඩයක් බවට  පත් වී තිඛෙනවා. පාසල් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ‍මෙන්ම ආධ්‍යාත්මයේද කේන්ද්‍රස්ථානය විය යුතුයි."මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් ඩී. එම්. මාලනී, පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඒ. විජේතුංග,
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ඉෆ්ලාන් යෙහියා , සමිත ආටිගල  යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.