පොලිතින් භාවිතය තහනම් කිරීමත් සමග ජනතාව 99%ක්ම පොලිතින් භාවිතයෙන් ඉවත්ව සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

එහෙත් ඇතැම් දේශපාලන පක්ෂ සිය සැරසිලි සඳහා යම් යම් අවස්ථාවල පොලිතින් භාවිතා කරන බවට නිරීක්ෂණය වී තිබෙන බවත්, එබැවින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා පොලිතින් භාවිතා නොකරන ලෙසට පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටි බව එම අධිකාරීය විමර්ශන අධ්‍යක්ෂක එන්.එස්. ගමගේ මහතා
සඳහන් කළේය.

2018 වසරේ ජනවාරි පළමු වැනි දින සිට දිරාපත් නොවන පොලිතින් නිෂ්පාදනය, සෘජිෆෝම් ආහාර අසුරන, මයික්‍රෝ 20ට අඩු පොලිතින් භාවිතය තහනම් කළ බවත්, මේ අනුව සෘජිෆෝම් කෑම අසුරන නිෂ්පාදන සමාගම් දෙකම සිය නිෂ්පාදන කටයුතු නවතා දැමූ බවත් හෙතෙම පැවසීය. ලන්ච් සීට් නීතිය උල්ලංඝනය කරන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා මෙහිදී පවසා සිටියේය.

මීට පෙර අවමංගල්‍ය උත්සව සඳහා විශාල වශයෙන් පොලිතින් භාවිතා කළ බවත්, එහෙත් ජනතාව ඒ සඳහා රෙදි ඇතුළු විකල්ප ද්‍රව්‍ය භාවිතා කරන බවත් ගමගේ මහතා සඳහන් කළේය.

දේශපාලන පක්ෂ කිහිපයක් මැතිවරණ වේදිකාවලට පොලිතින් භාවිතා කර තිබෙන බැවින් පොලිතින් භාවිතා නොකරන ලෙසට පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටි බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ