මහරගම නගර සභාවේ හෝ මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයක් ලබා නොගෙන මනුෂ්‍ය ජීවිතයට අනතුරක් වන අයුරින් සකස් කරන ලද පිළිගැනීමේ පාලම් තොරණක් කඩා වැටී තිදෙනකුට තුවාල සිදුවූ බව
කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය උපාලි කොඩිකාර රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් එච්.යූ.කේ. පැළ්පොළ මහතා නියෝග කළේය..

කුරුණෑගල අඹකොටේ ප්‍රදේශය පදිංචි සුජීව හර්ෂණ කුමාර නමැත්තකු මහරගම පොලිසියට කර තිබූ, පැමිණිල්ලක් අනුව පොලීසිය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් පසු සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.

පැමිණිලිකාර පුද්ගලයා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඔහු සිය පෙම්වතිය වන සුලාරී ලක්නිමා තරුණියද සමඟ ඉකුත් 8 දා පෙරවරු 9.00ට පමණ නිමි ඇඳුම් මිලදී ගැනීම සඳහා මහරගම නගරයට පැමිණ ඇඳුම් ලබාගෙන තමා හා තම පෙම්වතිය මහරගම ඔරලෝසු කණුව ආසන්නයේ දෙහිවල මාර්ගය හරහා ඉදිකර තිබූ පාලම් තොරණ ආසන්නයෙන් ගමන් ගන්නා විට එකී පිළිගැනීමේ පාලම් තොරණ තමාගේ හා තම පෙම්වතියගේ මෙන්ම තවත් කාත්තාවකගේ ශරීර මතට කඩා වැටුණු බවද ඉන්නේ තමාගේ කකුලට හා පෙම්වතියගේ කොන්දට බරපතළ තුවාල සිදුව ඇති බව පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පෙම්වතිය ජාතික රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ බවද ඔහු පවසා තිබේ.

මෙකී සිද්ධියෙන් කොන්දට බරපතළ හානි සිදුව ඇති ඉහත කී සුලාරි ලක්නිමා නමැති තරුණියගේ ඉණෙන් පහළ
කොටස අප්‍රාණික තත්ත්වයට පත්වී ඇති බවද ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද අධිකරණයෙන් අනාවරණය කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය සිදුකළ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඉහත කී තොරණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා සකස්කර තිබූ එකක් බවද එකී තොරණ තුළ ඉහත කී දෙදෙනාගේම මහරගම හිටපු නගර සභපතිනි කාන්ති කොඩිකාර හා සැකකාර උපාලි කොඩිකාර යන අඹුසැමි යුවළගේ රුවද ප්‍රදර්ශනය කර තිබූ බවද අනාවරණය විය.


මහරගම පොලීසියේ කොස්තාපල්වරුන් වන එරංග (88199) හා වීරසිංහ (8622) යන අය පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් තිස්ස විජේරත්න, ප්‍රදීප් සිල්වා, මංජුල රණවීර යන නීතිඥවරු පෙනී සිටියහ.

කුමුදු උපුල් ශාන්ත