ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයක් යටතේ සැබෑ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම හරහා දඩබිමක්ව ඇති රට නැවත වැඩබිමක් කළ හැකි බවට තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

හෙතෙම සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ අනාගතයේ බිහිවන රජයේ ඒකායන අරමුණ ජනතාවට යුක්තිය ඉටුකිරීම බවයි.

එහිදී පළිගැනීම් පසෙකලා, සැබෑ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බවද

මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කර සිටියේ බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ පසුගියදා පැවැති 'යුක්තියට හඬක් සංවිධානයේ පළමු සම්මේලනය අමතමිනි.

සෑමට යුක්තිය ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙවන් සංවිධානයක් බිහිවීම අගය කරන බවද හෙතෙම පැවසීය.

අසාධාරණ ලෙස පළිගැනීම්වලට ලක්වූ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකරවාගැනීම සඳහා වූ යුක්තියේ සම්මුතිය සඳහා මහජන අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයද එදින ඇරඹි අතර, ඒ සඳහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පළමුව අත්සන් තැබීය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ වැඩබිමක්ව තිබුණු රට යහපාලන ආණ්ඩුව දඩබිමක් බවට පත්කළ බවත්, එහිදී රාජපක්ෂ පවුලට සමිබන්ධ අය, රාජපක්ෂ පවුල් මිත්‍රයන්, රජයේ සේවකයන් මෙන්ම උපකාර කළ ව්‍යාපාරිකයන්ද එම දඩයමේ ගොදුරු බවට පත්වූ බවත්ය.

මෙම අවස්ථාව සඳහා හිටපු කථානායක චමල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වහ්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂෂ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර යන මහත්ම මහත්මීන් සහ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

- නිදර්ශනී වික්‍රමසිංහ