https://www.gossiplankanews.com/2019/09/21000-bohra-muslim-in-colombo.html
ලෝකයේ මුස්ලිම් වර්ගීකරණය අනුව සුන්නි හා ෂියා මුස්ලිම් කාණ්ඩ වලින් ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අයත් වන්නේ බහුතරයද අයත්වන සුන්නි කාණ්ඩයටය. සුළුතරයක්වූ ෂියා මුස්ලිම් කාන්ඩයේ අනු කාණ්ඩයක් ලෙස සැලකෙන බෝරා මුස්ලිම් ප්‍රජාව රටවල් 40 ක පමණ සුළු වශයෙන් සිටී. ඔවුන් අල්ලාහ්ගේ දෙවැනියා ලෙස සලකන්නේ 'අලි' නමැති බෑණාවය. එසේම ආගමේ ඇතැම් කාරණා
ගැනද ඔවුනට පරස්පර ඇදහීම් පවතී.
ලෝකය පුරා බෝරා මුස්ලිම් ප්‍රජාව වරින්වර එක්වී විවිධ සමුළු පවත්වන අතර සමාජ සත්කාර වැඩසටහන් වලටද දායකවේ.
මුස්ලිම් අන්තවාදීන් ලංකාවේ බෝම්බ පිපිරවීම බෝරා ප්‍රජාවේ හෙළාදැකීමට හේතුවිය. තමන්ගේ ආගම වැරදි ලෙස අදහන්නන්ගේ පහත් ක්‍රියාවක් ලෙස

ඔවුන් එය හඳුන්වා තිබුණි. මීට පෙර ලංකාවේ සුනාමි ඛේදවාචකය අවස්ථාවේද මෙම ප්‍රජාව එක්වී උදව් ලබාදීමට උත්සාහ කර තිබුණි. පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යමක් කළ යුතු බව ඔවුන්ගේ වැටහීම විය.
 බෝම්බ පිපුරුනේ ප්‍රධාන හෝටල්වලය. ඒවාට ආ සංචාරකයින් ලක්ෂ ගණන් ලංකාව හැරගිය අතර කාලයක් යනතුරු එම ආදායමටද බලපෑම් ඇති කළේය.
ඒ  අනුව ඇදවැටුණ සංචාරක කර්මාන්තයට පණක් දෙන්නට මෙම ප්‍රජාවේ නායකයින් කළ්පණා කර තිබුණි.
බෝරා මුස්ලිම්වරුන් 21000 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘බෝරාවරුන්ගේ සමුළුව’ අද (01) කොළඹදී ආරම්භ වන්නේ මෙම පසුබිමේය.මෙම සමුළුව කොළඹ 04 (බම්බලපිටිය), වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මැරයින් ඩ්‍රයිව් මාර්ගයේ පල්ලිය ආසන්නයේ තාවකාලිකව ඉදිකළ විශාල ශාලා කිහිපයක මෙම සමුළුව පැවැත්වේ.
රටවල් 40 ක බෝරාවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවැනි සමුළුවක් මින් ඉහත ලංකාවේ 2007 පවත්වා ඇත. ඒ සඳහා 7000 ක පමණ පිරිසක් එක්ව තිබුණි.

මෙම සමුළුව හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ බිඳවැටී තිබුන සංචාරක කර්මාන්තයට නව පණක් ලැබී ඇති බවත් කොළඹ සහ ඒ අවට සංචාරක හෝටල් සියල්ල කාර්‍යය බහුල වී ඇති බවත් වාර්තා විය. බෝම්බ ප්‍රහාර සිදුවූ සුපිරි හෝටල්වලට පවා මෙම ප්‍රජාවේ සාමාජිකයින් නවාතැන් ඉල්ලා තිබුනේ ඉහළ මිල ගණන් වලටය.
හෝටල් කාමර මිලද ඉහල ගොස් ඇති අතර ත්‍රී රෝද රථ රියදුරන් සංචාරක මග පෙන්වන්නන් සහ කොළඹ කඩසාප්පු පවා වෙනදාට වඩා කාර්‍යයබහුල වී ඇත.
 ශ්‍රී ලංකා රුපියල් බිලියන නවයකට ආසන්න ආදායමක් මෙම සමුලුව නිසා ලංකාවට ලැබෙනු ඇති බවට මත පළවී ඇත.
අදින් ආරම්භ වන මෙම සමුළුව දින දහයක් පුරා පැවැත්වීමට නියමිතයි.