https://www.gossiplankanews.com/2019/09/20years-for-gotabhaya-rajapaksa-sunil-warsnai-thripathi.html
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් තිබෙන පුවතකින් වාර්තා කර තිබෙන්නේ 'මෝදි දිනන බව පැවසූ ඉන්දීය අනාවැකිකරු ගෝඨාභය අවුරුදු 20 ක් ලංකාව පාලනය කරන බව' කියූ කතාවකි.
මෙම වාර්තාව පළ කර තිබෙන්නේ මේ දිනවල මැතිවරණ ප්‍රචාරය පිණිස අලුතින් ආරම්භ කර තිබෙන වෙබ් අඩවියකින් වන අතර එම පුවත සිය පක්ෂග්‍රාහී අපේක්ෂකත්වය වෙනුවෙන් නිර්මාණාත්මකව ඉදිරිපත් කර ඇති පුවතක් බව
හඳුනාගන්නට ලැබේ.
කිසිදු මූලාශ්‍රයක් සඳහන් නොකර ඇති එම වාර්තාවේ මෙසේ දැක්වේ.

'ඉන්දීය සුපිරි අනාවැකිකුරු සුනිල් වර්ස්නායි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන පැවසූ අනාවැකියක් මගින් ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කර ඇත..වත්මන් ඉන්දීය අගමැති මෝදි මහතා තුන්වරක් ඉන්දියාවේ අගමැති වන බව ඔහු පවසා ඇත්තේ 2003 වැනි ඈත වකවානුවකය.එමෙන්ම 2004 වසරේ සුනාමි ව්‍යසනය ගැනද එතුමා ඉතාමත් ඈත කාලයකම සිට ඉන්දීය රජය දැනුවත් කර තිබුනි.
එපමණක් නොව 2011 ලෝක

කුසලාන අවසන් තරගයට ඉන්දියාව හා ශ්‍රී ලංකාව පැමිණෙන බවත් එයින් ඉන්දියාව ජය ලබන බවත් ඔහු පවසා ඇත්තේ 2007 වසරේ ඉන්දියාව ලෝක කුසලාන පළමු වටයෙන්ම ඉවත් වීමත් සමගය.මේ ආකාරයට ඔහු පවසා ඇති බොහෝ අනාවැකි ඉතාමත් නිවැරදිව සනාථ වූ අවස්ථා එමටය.‍‍
ග‍ෝඨාභය රාජපක්ෂ මහතා ගැන ඔහු පවසා ඇති අනාවැකිය ඉතාමත් විශ්මය දනවන සුලුය.ඒ අනුව මෙම වසර අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිබවට පත්වනු ඇත.
ඉන් අනතුරුව රටට ඔහු කළ විශිෂ්ඨ සේවාව වෙනුවෙන් ජනතාව විසින්ම ඔහුව නිතරගයෙන්ම පස්වතාවක් හෝ හයවතාවක් රටේ ජනාධිපති බවට පත්කරගන්නා බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු ධූරය දැරූ වැඩිම කාලය එය වන බවත් වර්සායි මහතා පවසා ඇත.‍‍'


මෙම වෙබ් අඩවි වාර්තාවේ මෙසේද දැක්වේ.

'ඒ අනුව මෙම වසර අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිබවට පත්වීමෙන් අනතුරුව එළඹෙන ජනවාරියේදී වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ළග සිටින සියලු නුසුදුසු පුද්ගලයින් එම මහමැතිවරණයෙන් පලවා හැර සුදුස්සාට පමණක් මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව සලසනු ඇත.
මහමැතිවරණයෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය 30 දක්වා සීමා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ අග්‍රාමාත්‍ය තනතුරට පත්කරනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවය.මහින්ද මහතා මෙන්ම සිය ලේ ඥාතීන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබන ඒ මහතා රට සංවර්ධනය කිරීමට හා රටේ ආරක්ෂාව පතා වැදගත් තනතුරු රැසක් ඔවුනට ලබා දේ.විශේෂත්වය වනුයේ පෙරදී මෙන් ජනතාවගෙන් ඊට විරෝධතාවයක් එල්ල නොවීමයි.‍
ග‍ෝඨාභය රාජපක්ෂ මහතාගේ ඊළග වැදගත්ම කාර්ය වනුයේ මහබැංකු වංචාව සිදුකළ වංචනිකයන්ට දඩුවම් දීමය. සුනිල් වර්ස්නායි මහතාට අනුව රනිල් වික්‍රමසිංහ රවී කරුණානායක ඇතුළු වංචනිකයන් රැසක් 2020 වසරේදී බරපතළ වැඩ සහිතව වසර 10 ක සිරදඩුවම්

විදිනු ඇත.අධිකරණයට කිසිදු බලපෑමක් එල්ල නොකරන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ මාධ්‍ය නිදහසද ආසියාවේ වැඩියෙන්ම රැකෙන රට බවට ඔහු දැනටමත් අනාවැකි පල කර ඇත.‍‍
ග‍ෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවූ පසු දළ ජාතික නිෂ්පාදන වේගය 15% පමණ දක්වා වැඩි වන බවත් එය ලෝකයේ වැඩිම අගයක් අතුරින් එකක් වන බවත් ඒ මහතා පවසා ඇත.'

-----------------------------

අන්තර්ජාලය තුළ පරීක්ෂා කිරීමේදී සුනිල් වර්ස්නායි නමින් ජ්‍යොතිෂඥයෙකු සොයාගන්නට නොලැබේ. කෙසේ වෙතත් එම වාර්තාව සමග පළව තිබෙන ඡායාරූපය විමසීමේදී එම ඡායාරූපය සුනිල් ත්‍රීපති නමැති ඉන්දීය ජ්‍යොතිෂඥයෙකුගේ බව (Dr. Sunil Tripathi) සොයාගන්නට හැකි මුත් ඔහු එවැනි කිසිදු අනාවැකියක් පළ කළ අයෙකු නොවේ. එවැනි අනාවැකියක් ගැන ඉන්දියාවේ කිසිදු පුවත්පතක හෝ වෙබ් අඩවියක වාර්තාවක් නැත.
සිය දහස් ගණන් ජ්‍යොතිෂ්‍යවේදීන් සිටින ඉන්දියාවේ වරාණාසි ප්‍රදේශය ආශ්‍රිතව ඔහු සාමාන්‍ය ලෙස ජ්‍යොතිෂ්‍ය කටයුතු සිදු කරන ෆේස් බුක් පිටුවක් හා වෙබ් අඩවියක් පවත්වා යන අයෙකු බව පමණක් හඳුනාගන්නට ලැබේ. ඒවායේ මෑත කාලීන පළකිරීම් වලද මෙවැනි අනාවැකියක් තබා මෝදි ගැනවත් සඳහනක් නැත.
මෙම වාර්තාව හුදෙක් ප්‍රචාරණය පිණිස ලාංකික පක්ෂග්‍රාහීන් නිර්මාණය කළ එකකි.
බැලුබැල්මට හඳුනාගන්නට ලැබෙන්නේ කවුරුන් හෝ ජ්‍යොතිෂඥයෙකුගේ රූපයක් අන්තර්ජාලයෙන් උපුටාගෙන තමන්ට අවශ්‍ය ප්‍රචාරණ  කතාන්තරයක් මෙරට වෙබ් අඩවි හා ඊට හිතැති ෆේස් බුක් පිටු මගින් ප්‍රචාරය කර ඇති බවකි.

සුනිල් ත්‍රිපති ජ්‍යොතිෂඥයාගේ වෙබ් අඩවිය
https://www.varanasiastro.com/
සුනිල් ත්‍රිපති ජ්‍යොතිෂඥයාගේ ෆේස් බුක් පිටුව
https://www.facebook.com/AstrologerAstrology/