නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා (24) පැවැති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණහි සම්මේලනයේ මාධ්‍ය ආවරණය සඳහා සහභාගි වූ මාධ්‍යවේදීන් ආපසු හරවා යැවීමට එහි සංවිධායකයන් කටයුතු කිරීම
සැලසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරුණ මන්ත්‍රීවරු කිහිපදෙනකු තීරණය කර ඇති බවට වාර්තා වේ.

එසේම පක්ෂයේ තරුණ මන්ත්‍රීන් ලෙස සිය පාර්ශවය විසින් දියත් කරනු ලැබූ ප්‍රථම සම්මේලනයට බාධා පැමිණවීමට කටයුතු කළ බවට සඳහන් කරමින් උද්ගත වූ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන තරුණ පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් දැඩි කනස්සල්ලලෙන් හා කළකිරීමෙන් පසුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු  ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වයට හානි කිරීම සදහා මෙවැනි කාර්යයක් හිතාමතා සිදු කළාද යන්න ගැන සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම අදහස වී තිබේ. මේ අතර කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පෙරේදා (25දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත සිය කනගාටුව ප්‍රකාශ කළ අතර, සිදුවූ අපහසුතාව පිළිබඳ මාධ්‍ය වෙතින් සමාවද අයැද සිටියේය.

සම්මේලනය සංවිධාන කටයුතු වෙනත් කණ්ඩායමක් වෙත ලබාදී තිබු බවත්, ඒ අනුව අදාළ සිද්ධිය පිළිබද සොයා බැලීමක් කඩිනමින් සිදුකර මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරන බවත් ඔහු එහිදී සදහන් කර සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සම්මේලනයේ මාධ්‍ය ආවරණ කටයුතු සදහා මාධ්‍යවේදීන් වෙත අසුන් පැනවීමට රඟහල තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොමැති යැයි පවසමින් එහි සංවිධායකයන් ඇතුළු පාර්ශ්වයන් විසින් මෙලෙස මාධ්‍යවේදීන් ආපසු හරවා යැවීමට කටයුතු කළ අතර, එහිදී ඔවුන් මාධ්‍යවේදීන් වෙත සඳහන් කර සිටියේ යූ ටියුබ් චැනල හරහා ලබා ගන්නා තොරතුරු මත සිය මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන ලෙසයි.

කෙසේවුවද රඟහල තුළ මාධ්‍යවේදීන් සදහා ආසන වෙන්කර නොමැති බවට වු  දැනුවත් කිරීම් සම්මේලනයේ කටයුතු ආරම්භ වීමට හෝරා කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේහි මාධ්‍ය අංශය විසින් පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වෙත දැනුම්දීම් සිදු කර සිටි බවද සදහන් වේ.ඒහෙත් සම්මේලනයේ කටයුතු ආරම්භ වනතෙක්ම ඒ සඳහා නිසි ප්‍රතිචාර ලැබී නොතිබිණි.

සම්මේලනයේ මාධ්‍ය ආවරණ කටයුතු සදහා මාධ්‍යවේදීන් සහභාගි කර නොගැනීමට එදින පෙරවරුවේ තීරණය කර තිබුණු බවටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඇතැම් ආරංචි මාර්ග සදහන් කරන අතර, එහෙත් ඒ පිළිබඳ කිසිදු පෙර දැනුමිදීමක් මාධ්‍ය වෙත සිදු කර නොතිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුවක් පසුගිය 20 වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේද සහභාගිත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවැත්වෙන බවට වූ ආරාධනයක් එම පක්ෂය විසින් මාධ්‍ය වෙත සිදු කර තිබුණේ පසුගිය 19 වැනිදාය.

එහෙත් අදාළ මාධ්‍ය සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජප්පක්ෂ මහතා සහභාහි නොවූ  අතර, දිලුම් අමුණුගම, කංචන විජේසේස්කර, රමේෂ් පතිරණ, ශෙහාන් සේමසිංහ යනාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව එය පැවැත්වූහ. ඒ අනුව මෙම සම්මේලනය සඳහා පුළුල් මාධ්‍ය ආවරණයක් ලබාදීමට මාධ්‍ය වෙත ගෞරවයෙන් ආරාධනා කරන බවත් ඔවුහු එහිදී සඳහන් කර සිටියහ.

එසේම සම්මේලනයට අමතරව 24 වැනිදා උදෑසන සිට නෙළුම් පොකුණ පරීශ්‍රයේදී සිදුකරන තරුණ තරුණියන් දැනුවත් කිරීම, ලියාපදිංචිය මෙම සාකච්ඡා හරහා ඔවුන්ගේ අදහස් බෙදා හදා ගැනීම යනාදී වැඩසටහන් නිරීක්ෂණය කින්ම සදහාද මාධ්‍යවේදීන් වෙත අදාළ මන්ත්‍රීවරුන් ආරාධනා කර සිටියහ.

-නිදර්ශනි වික්‍රමසිංහ-