හමුදාපති තනතුරට තමන් පත් කිරීම ගැන සමහර රටවල් අදහස් ප්‍රකාශ කර තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ආරක්ෂාව පිළිබඳ සිතා සහ යුද හමුදා නායකත්වයට සුදුසු
නායකයෙකු ලබාදුන්නැයි සිතන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. තමන් යුද හමුදාපති තනතුරට
පත් කිරීම ගැන සමහර රටවල් විවිධ අදහස් ප්‍රකාශ කර  තිබුණද එය ඔවුන්ගේ අදහස් බවද ඔහු පවසා සිටියේය.

බුද්ධි අංශය ඉතා වැදගත් අතර, බුද්ධි තොරතුරු අනුව භට පිරිස් යොදවන බවත්, මේ නිසා හමුදාපති ධුර කාලය තුළ යුද හමුදා බුද්ධි අංශවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන බවත් ඒ මහතා පවසා සිටියේය. කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම යටතේ සමහර ව්‍යුහාත්මක වෙනස්කම් හා වෙනත් වෙනත් ක්‍රම සිදුවිය හැකි බවත්, එහෙත් අවසාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය ඉතාමත් දක්ෂ බුද්ධි අංශයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යැම බවත් ඔහු කියා සිටියේය.

රටේ ජාතික ආරක්ෂාවට බුද්ධි අංශ වැදගත් බවත්, උතුරු නැගෙනහිර තිබෙන හමුදා කදවුරු මේ අවස්ථාවේදී ඉවත් කිරීමක් නොවන අතර, බුද්ධි තොරතුරුවලට අනුවට කඳවුරු පවත්වාගෙන යන බවද හෙතෙම කියා සිටියේය.

-ඉන්දික හේවාවිතාරණ-