බියගම ප්‍රදේශයේදි පැහැරගත් පුද්ගලයකු නිරුවත් කර පහර දී හෝමාගම රෝහල අසල දමාගොස් තිබියදී සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි.  පහර කෑමෙන් තුවාල වූ පුද්ගලයා පෙරේදා (24) අලුයම
හෝමාගම රෝහල ඉදිරිපිට බස් නැවතුම් පොළේ කෑගසමින් සිටිනු රෝහල් සේවකයන් දැක ඔහු රෝහල් ගත කර ඇතැයි පැවසේ. රෝහල් ගත කරන අවස්ථාවේදී පහර කෑ පුද්ගලයාගේ දෙපා බිඳී ගොස් තිබූ බවද පැවසේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා විවාහකයකු වන අතර කාන්තාවක් සමග
මාස කිහිපයක සිට බියගම ප්‍රදේශයේ කුලි නිවසක පදිංචිව සිට ඇතැයි පොලිසිය පවසයි.ඊට උරණ වූ පිරිසක් ඉකුත් 23 වැනිදා රාත්‍රී කුඩා ලොරි රථයකින් බියගම ප්‍රදේශයට ගොස් එහිදී තුවාලකරුට පහරදී පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

පසුව අතරමඟදී තුවාලකරු නිරුවත් කොට යකඩ පොලුවලින් පහරදී හෝමාගම රෝහල අසලට ගෙනැවිත් දමා පලා ගොස් ඇතැයි පැවැසේ. පහර කෑමෙන් ඔහුගේ දෙපා බිඳී ගොස් ඇති අතර හිසට මුහුණට සහ සිරුරේ ස්ථාන කිහිපයකට පහර දීමෙන් සුළු තුවාල සිදුව ඇති බවද පැවසේ. පහර කෑමට ලක්වූ (35) හැවිරිදි පුද්ගලයා කරණවෑමියකු ලෙස සේවය කර ඇතැයිද පැවසේ.

මෙම පැහැර ගැනීම සහ පහර දිම බියගම ප්‍රදේශයේදී සිදුව ඇති අතර ඒ පිළිබඳ විමර්ශනයක් බියගම පොලිසිය මගින් සිදු කරන බව පැවසේ. තුවාලකරු සැත්කමට ලක් කිරීමට නියමිතය.  පහරදීමට සම්බන්ධව කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

-ශාන්ත ප්‍රදීප් කුමාර-