ඉදිකරමින් පවතින මත්තල සිට මාතර දක්වාවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට පිවිසුම ආසන්නයේ මාර්ගයේ තිබී ගිනිගෙන විනාශයට පත් ත්‍රිරෝද රථයක් පෙරේදා (24දා) රාත්‍රිය සොයාගත් බව හම්බන්තොට
පොලීසිය පවසයි. හම්බන්තොට පොලීසියට ලද දුරකතන ඇමතුමකට අනුව පොලීසිය සිදුකළ පරීක්ෂණයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට පිටවීමේ හා ඇතුළු වීමේ පිවිසුමට කිලෝමීටර් 05ක් පමණ මත්තල දෙසට වන්නට අධිවේගයේ මාර්ගය මධ්‍යයේ ගිනිගෙන විනාශ වූ ත්‍රිරෝද රථය සොයාගෙන තිබේ.

මෙම ත්‍රිරෝද රථය හම්බන්තොට සිට ඉදිකරමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට පිවිසුමෙන් ඇතුළුවී සූරියවැව දක්වා ගමන් කරමින්සිටියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගෙන විනාශ වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.  ත්‍රිරෝද රථය සූරියවැව සුරුවිරුගම ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් වන අතර ඔහු මෙම ත්‍රිරෝද රථය මෑතකදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාවකගෙන් මිලදී ගෙන ඇති බවද හෙළිවී තිබේ.

ත්‍රිරෝද රථය ඉදිකරමින් පවතින අධිවේගි මාර්ගය තුළදි ගිනි ගැනීමට ලක් වීම නිසා අධිවේගී මාර්ගයටද දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙන බවත්, අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර අනවසරයෙන් එම මාර්ගයේ ගමන් කිරීම නිසා මාර්ගයට සිදුව ඇති අලාභය ත්‍රිරෝද රථයේ හිමිකරුගෙන් අයකරගැනීමට සිදුවන බවද අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කරන නිලධාරියක් පැවසීය.සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-නුවන් ජයසේකර-