https://www.gossiplankanews.com/2019/08/wennappuwa-waikkala-double-murder.html#more
ඩමකින් ජලය ගලායාමේ ආරවුලක් මත අසල්වැසි නිවසක දරු දෙදෙනෙකු මරා දැමූ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ වෙන්නප්පුව වයික්කාලෙන් වාර්තා විය.
මෙම ගැටලුව නිසා තමා නීතිය හමුවේ පරාජය වන බව වැටහීමෙන් කෝපාග්නියට පත් පුද්ගලයෙකු ඊයේ 27 දා උදෑසන අසල්වැසි නිවසට පැන
එම නිවසේ මාපියන් හමුනොවූ නිසා එහි සිටි දරුවන් දෙදෙනකු කඩුවකින් කපා කොටා මරා දමා ඇතැයි වාර්තා විය.
සැකකරු වයික්කාල කනිටු විදුහල ඉදිරිපිට පිහිටි මියගිය දරු දෙදෙනාගේ නිවස අසල පෙට්ටි කඩයක් පවත්වාගෙන ගිය අයෙකි. නිවසේ පදිංචිකරුවන් සමග සැකකරු වැහි පීල්ලක් පිළිබඳව ප‍්‍රශ්නයක් ඇති කරගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ඉඩමෙන් පිටවන ජලය අසල්වැසි ඉඩමේ ගලා යෑම හේතුවෙන් මෙම දෙපාර්ශ්වය අතර කාලයක් තිස්සේ පැවැති ආරවුලක් මත මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
මේ පිළිබඳව වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර ඇතත් ආරවුල බේරී නැති අතර වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවටද පැමිණිලි කර තිබිණි. මේ සම්බන්ධව කාර්මික නිලධාරියකුගෙන් වාර්තාවක් ගෙන අද (28 දා)  විමර්ශනයක් සඳහා කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබූ අතර බොහෝදුරට එහිදී තීරණය වීමට තිබී ඇත්තේ අනවසර පෙට්ටි කඩය එම ස්ථානයෙන් ඉවත් කිරීමටය.
තම පෙට්ටිකඩ රැකියාවට ප්‍රශ්නයක් මතුවීම මුල්කොටගෙන අදාල ප්‍රද්ගලයා කොපාග්නියට පත්ව තිබේ.
සැකකරු මුවහත් කඩුවක් රැගෙන එම නිවෙසට පැමිණි අවස්ථාවේ දරුවන්ගේ පියා නිවසේ සිට නැති අතර මව සිට ඇත්තේ උඩුමහලේය. දරුවන් නිවස ඉදිරිපිට සිටියදී සැකකරු ඔවුන්ට කඩුවෙන් පහරදී ඝාතනය කර ඇත.
තුවාලලත් දරු දෙදෙන  මීගමුව රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දංකොටුව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි ගාල්ල පතිරණගේ ගිම්හාරි නිසලි රූපසිංහ (19) සහ නයිනමඩම සෙබස්තියන් විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ජී. පී. සහන් මෙත්සර රූපසිංහ (8) නමැති දරුවන් දෙදෙනායි.
සිදුවූ ද්විත්ව ඝාතනය ගැන අසල්වැසි කාන්තාවක වූ රංජිනී පෙරේරා මහත්මිය පැවැසුවේ මෙසේය.


“අපේ දුව කෑගහන සද්දෙට මං පාරට දුවලා ඇවිත් බලනකොට නිල්මිණි නංගී ‘අක්කේ සුදීප පුතාව
කැපුවා’ කියාගෙන දරුවත් අරගෙන පාරට දිව්වා. දරුවගෙ ඇඟේ ලේ තිබුණා. මාත් නිල්මිණි නංගිත් එක්ක
පාරට දුවලා උදවු ඉල්ලලා කෑගැහුවා පුතාව රෝහලට යවන්න වාහනයක් නතර කරගන්න. එවෙලේ නිල්මිණි
නංගි මට කිව්වා ‘අක්කේ අම්මා බලන්න... කුස්සියෙ’ කියලා මම ආපහු ගේ දිහාට දුවලා යනකොට ගෙයි
ලේ තිබුණා. කුස්සියෙ අම්මා වැටිලා හිටියා. මම අම්මාව නැගිට්ටවල නිල්මිණිගෙ දෙවැනි දුවට ‘ආච්චි
බලාගන්න’ කියලා ආපහු පාරට දිව්වා.

කෑගැහිල්ලට ගමේ අයත් එකතු වුණා. ඒ අතරෙ කවුරුහරි ‘නංගිත් වැටිලා ඉන්නවා’ කියලා කෑගහන සද්දෙ ඇහුණා. ආපහු මම ගේ පැත්තට දුවල ගිහින් බලනකොට ගේ ළඟ දෙබොක්කාවෙ දුවත් වැටිලා ඉන්නවා දුටුවා. බෙල්ල කපලා තිබුණා. මම උදවු ඉල්ලල කෑගහගෙන පාරට දිව්වත් කවුරුවත් පිහිටට ආවේ නෑ. ඊට පස්සෙ දරුවගෙ නැන්දා කෙනෙක් කාර් එකක් අරගෙන ආවා. ඒකෙ මමයි, ඒ නැන්දයි තව කිහිපදෙනකුයි එක්වී දුවත් ඉස්පිරිතාලෙ ගෙනිච්චා. දුවගෙ අම්මා දැනගෙන හිටියෙ නෑ දුවත් කපලා කියලා. එයා ඉස්පිරිතාලෙදි හිතුවේ වෙච්ච දේ දැකලා දුවට ක්ලාන්තේ හැදිලා කියලයි.”
සැකකරු වෙන්නප්පුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.