https://www.gossiplankanews.com/2019/08/welipenna-car-assembly-plant.html
දේශීයව මෝටර් රථ එකලස් කිරීමේ හා නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් පසුගිය සෙනසුරාදා කළුතර, වැලිපැන්නේදී විවෘත කරන ලදී. ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම සමග අත්වැල් බැඳගත් ලංකාවේ අයිඩියල් මෝටර්ස් සමාගම මෙම ආයතනය
මහින්ද්‍රා අයිඩියල් ලංකා ලෙස නම් කර ඇති අතර රුපියල් බීලියන 3ක දැවැන්ත ආයෝජනයකි.
මෙම නව කර්මාන්ත ශාලාවේ එදින ප්‍රථම නිෂ්පාදනය ලෙස mini SUV මාදිලියේ KUV1OO රථය එළිදැක්වූ අතර, ඉදිරි වසර තුන තුළ තවත් නිෂ්පාදන රැසක් එහිදී එළිදකින බව අනාවරණය කෙරිණි.

අක්කර 8 ක භූමි ප්‍රමාණයක විහිදුණු මෙම කම්හලෙහි 200 කට ආසන්න දේශීය සේවක පිරිසක් සේවය කරති.
මේ දක්වා ශ්‍රී ලංකාවේ එකලස් කිරීමේ කටයුතු සිදුවූයේ මුළුමණින්ම විදේශයින්හි නිමවීමෙන් පසු ලංකාවට ගෙන්වන ලද වාහන කොටස්ය. නමුත් මෙම කම්හලෙහි විශේෂත්වය වන්නේ විදේශ නිෂ්පාදිත කොටස් සමග ලංකාවේ නිෂ්පාදිත කොටස්ද මුසු කර එකලස් කිරීමයි. වාර්තාවන ආකාරයට මෙම වාහනවල ටයර්, බැටරි, ෂීට් හා එක්ස්හෝස්ට් පද්ධතිය ලංකාවේ නිෂ්පාදනය වනු ඇත.

මහින්ද්‍රා අයිඩියල් ලංකා නවතම කර්මාන්ත ශාලාව නිල වශයෙන් විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සින්ධු හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
 අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති වන්නේ නලීන් වෙල්ගම මහතා වන අතර නියෝජ්‍ය සභාපති හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාය.

මේ තුළින් රැකියා උත්පාදනයට අතිරේකව, 35%ක දේශීය අගය එකතු කිරීමක් සිදුවන බවත්  මෝටර් රථ කර්මාන්ත උද්‍යානය තුළ දේශීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර ප්‍රවර්ධනයට අවස්ථාව ලැබෙන බවත් පැවසිණි.
 මහින්ද්‍රා අයිඩියල් ලංකා කර්මාන්ත ශාලාව නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ අතර, එමගින් Mahindra KUV100 රථ 5,000ක් වසරකදී එකලස් කිරීමට බලාපොරොත්තු වෙයි.  ඉදිරී වසර දෙක තුළ සෘජුව සහ වක්‍රාකාරව රැකියා රාශියක් උත්පාදනය කිරීමේ හැකියාවද මෙමගින් ලැබෙනු ඇති බව විශ්වාස කෙරෙයි.