කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා පෙරේදා (03දා) සවස අම්බලන්ගොඩ, කුලීගොඩදී වෙඩි තබා ඝාතනය කර තිබෙන බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ, කුලීගොඩ, සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි මෙරෙක්ඥ තිළිණ රුවන් තිහාර
ජයරත්න (44) නමැති අයයි. ජේලර්වරයා වෙඩි තබා ඝාතනය කිරිමට අදාළ පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දිමට පොලිසිය තීරණය කර තිබෙන බව ඇල්පිටිය කොට්ඨාසයට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (04දා) සවස ප්‍රකාශ කළේය.

එයට අමතරව ඇල්පිටිය පොලිස් අධිකාරි නිශ්ශංක පිරිස් මහතා යටතේ හා අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි මහතා යටතේ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරික්ෂක ඉන්දික ගමගේ මහතා යටතේ පොලිස් කණ්ඩායම් තුනක් (03) යොදවා මේ වන විට පරික්‍ෂණ සිදුකරන බව ද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.පෙරේදා (03දා) සවස 5.30ට පමණ අම්බලන්ගොඩ, කුලිගොඩ හන්දියේදී මඳක් මාදම්පාගම දෙසට වන්නට මෙම වෙඩි තැබීම කර තිබෙන බව පොලිස් පරික්ෂණවලදී තහවුරු වී තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම්.ටී. රුවන් තිහාර ජයරත්න
(44) නමැති අය ප්‍රදේශවාසීන් බළපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මියගිය අය වෙනුවෙන් වූ මහෙස්ත්‍රාත් පරික්ෂණය බළපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් ඉසෙඩ් පී.එම්. ලියාකාත් මහතා විසින් පෙරේදා (03දා) රාත්‍රියේ පවත්වන ලද අතර මෘත දේහය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙසද ඔහු නියෝග කර තිබේ.

ඒ අනුව ඊයේ (04දා) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විමට නියමිතව තිබිණි. සිද්ධිය සැලවීමත් සමහ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරික්ෂක ඉන්දික ගමගේ, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා යන නිලධාරීන් ඇතුළු පිරිසක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ. ජේලර්වරයා කොළඹ බන්ධනාගාර පුහුණු පාසලේ සිට කෙටි නිවාඩුවක් දමා නිවෙස බලා ඒමට පිටත්ව තිබෙන බවත් දුම්රියෙන් බැස දුම්රිය නැවතුම්පොළ අසල ආරක්ෂිත ස්ථානයක තබා තිබූ ප්ලැටිනා වර්ගයේ සිය යතුරුපැදිය ගෙන නිවෙසට යමින් සිටියදි මෙම වෙඩි තැබීම කර තිබෙන බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ අය තිදරු පියකු බවත් ඔහු පෙරේදා (03දා) කෙටි නිවාඩු දමා පැමිණ ඇත්තේ ඊයේ (04දා) දිනයේදි 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිය දියණියගේ අත්‍යවශ්‍ය කරුණු කීපයක් ඉටු කිරීමට බවත් පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ. ජේලර්වරයා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම කර තිබේ. ඝාතකයන් පැමිණි යතුරුපැදිය, ජේලර්වරයාගේ යතුරුපැදියට ඉස්සර කරමින් වෙඩි තැබීම කර තිබෙන බවත් වෙඩි පහරවල් තුනක් එල්ල කර තිබෙන බවත් පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ.

ජේලර්වරයාගේ බෙල්ලට යටින් දකුණු පැත්තට වන්නට එක් වෙඩි පහරක්, වම් තනපුඩුව අසලින් ඊට පහළට වන්නට තවත් වෙඩි පහරක් හා වම් කකුලේ කලවයට අනෙක් වෙඩි පහර තබා තිබෙන බවද පොලිසිය කියයි. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ කොපු තුනක් පොලිසිය සොයාගෙන තිබෙන අතර මෙම වෙඩි තැබීම වී 56 ගිනි අවියකින් සිදු කරන්නට ඇතැයිද පොලිසිය විශ්වාස කරයි.

වෙඩි තැබීම කිරීමෙන් පසු ඝාතකයන් මිටියාගොඩ දෙසට පලාගිය බවත් යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන් ගත් අය වෙඩි
තැබීම කළ බවත් සිද්ධිය ඇසින් දුටුවන් පොලිසියට ප්‍රකාශ කර තිබේ. ඝාතකයන් ඩ්බ යමහා වර්ගයේ යතුරුපැදියකින් පැමිණ තිබෙන බවට තොරතුරු ඇතැයිද අම්බලන්ගොඩ පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඝාතනයට ලක් වූ ජේලර්වරයා දකුණේ පාතාල නායකයකු වන පොඩි ලැසි නමැත්තාගේ කුඩු තිප්පොළක් වැටලූ අවස්ථාවේදී ඒ ආසන්නයේ ප්‍රධාන මාර්ගය අසල සිටියේ යැයි 2018.10.19 දින මිටියාගොඩ පොලිසියේ අත්අඩංගුවටද පත්විය.

ඒ වනවිට ඔහු ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ජේලර්වරයා වශයෙන් සේවය කරමින් සිටි අතර අදාළ දිනයේ ඔහු එහි පැමිණියේ කුමක් සඳහාද යන්න මිටියාගොඩ පොලිසියේ සැකයට භාජන වී තිබිණි. තමා මිටියාගොඩ - බද්දේම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති සත්ව ගොවිපොළක් ආසන්නයට යතුරුපැදියෙන්
ගොස් කුකුළු මස් තොග වශයෙන් මිලදී ගැනීමට විමසිමක් කරන අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඊට යාබද ස්ථානයක සිටි බව කියන කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බවත් තමන් මෙම  ස්ථානයට පැමිණියේ කුමක් සඳහාද යන්න විමසා තමන්ද අත්අඩංගුවට ගත් බවත් ඊට අදාළ පරීක්ෂණවලදී ජේලර්වරයා ප්‍රකාශ කර තිබිණි.

පසුව ඔහුට විරුද්ධව නඩු පවරා තිබූ අතර නඩුවෙන් ජේලර්වරයා නිදොස් කොට නිදහස් කෙරිණි. 2018.10.19 දින අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඔහු වැඩ තහනමට ලක්ව තිබූ අතර නිදහස් විමෙන් පසු නැවත රැකියාව ලැබී තිබුණේ වැලිකඩ බන්ධනාගාර පාසලේ ජේලර්වරයා ලෙස මිට මාස හතරකට පෙරදිය.ඝාතනයට ලක් වූ ජේලර්වරයා තමන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක්ද පවරා ඇති අතර මේ වනවිටත් එම නඩුව විභාග වෙමින් තිබේ. ඝාතනයට ලක් වූ සිය ස්වාමිපුරුෂයාට මිටියාගොඩ හා අම්බලන්ගොඩ පොලිස් ස්ථාන සමඟ ගැටලු තිබූ බවත් ඒ නිසාම එම පොලිස් ස්ථානවලින් සාධාරණත්වයක් ඉටු නොවන බවත් මියගිය අයගේ බිරිය මෙන්ම සහෝදරයාද ප්‍රකාශ කරති.

ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ උසස් පොලිස් නිලධාරියකු යටතේ  වෙනත් පොලිස් ස්ථානයක් හෝ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් ස්වාධීන පරිශිණයක් කර ලෙසයි. ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් මඟින් සිදුවන දූෂණ, වංචා මෙන්ම අක්‍රමිකතා හා අපරාධවලට අනුබල දීම් රැසක් ඝාතනයට ලක් වූ සිය සහෝදරයා ඔහුට එරෙහි නඩුවේදි හෙළිකර තිබෙන බවත් ඒවා හෙළි කිරීම හා මෙම ඝාතනය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවද පරීක්ෂණ පවත්වන ලෙසත් ඝාතනයට ලක් වූ අයගේ සහෝදරයා ඇල්පිටිය පොලිස් අධිකාරිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඝාතනයට ලක් වූ ජේලර්වරයා තමන්ට ජීවිත තර්ජන තිබෙන බවට සඳහන් කරමින් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙන බවද ඔහුගේ සහෝදරයා ප්‍රකාශ කරයි. ඝාතනයට ලක් වූ ජේලර්වරයා දකුණේ පාතාල නායක නො. 06, තෙල්වත්ත, හික්කඩුව යන ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් පොඩි ලැසී නමැති අය සහ ඔහුගේ කල්ලිය සමඟ ළඟින් ඇසුරු කර තිබෙන බවද පොලිසිය කියයි.

2015 මාර්තු 23 වැනිදා වෙඩි තබා ඝාතනය කරන ලද හික්කඩුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35) සහ 2016 දෙසැම්බර් 05 වැනිදා ඝාතනය කරන ලද අම්බලන්ගොඩ, ඉඩන්තොට, තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (04) යන පුද්ගල ඝාතනයන් සම්බන්ධයෙන් පොඩි ලැසී මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටි.

කරන්දෙණිය හිතහොඳ දොස්තර නමින් ප්‍රකට වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතාට 2011 සැප්තැම්බර් 25 දින වෙඩි තබා ඝාතනය කිරීම සහ 2016 ජනවාරි 09 දින අම්බලන්ගොඩ සිට ගලගොඩ දක්වා දිවෙන මාර්ගයේ කැලැබද ප්‍රදේශයක් වන ඉඩන්තොට යුනයිටි හෝටලය පිටුපස මාර්ගයේදි කිරින්ද ගමගේ සුසන්ත මෙන්ඩිස් (24) නොහොත් ‘ගලගොඩ සුසා' නමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මාදම්පාගම, ඉඩතොට පදිංචි සොබනාහන්දි ජයලත් ද සිල්වා (29), ඔහුගේ සහෝදරයා වන මීටියාගොඩ, මහවත්තේ පදිංචි සොබනාහන්දි සනත් ද සිල්වා (33) නොහොත් 'රාජු' , අම්බලන්ගොඩ, මාදම්පාගම පදිංචි මුරුක්කුවාදුර වසන්ත සොයිසා (24) නොහොත් 'වසා’ සහ එම ලිපිනයේ පදිංචි අගම්පොඩි  සජිත් සමන් ප්‍රියන්ත (20) නොහොත් 'සමන් කොල්ලා' නමැති තිදෙනාය.

මොවුන් සමඟද  ඝාතනයට ලක් වූ ජේලර්වරයා සමීප සබඳතා පවත්වා තිබෙන බවට තොරතුරු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. හිතහොඳ ‍දොස්තර ඝාතනයේ සැකකරුවන් හා පොඩි ලැසි එකම කණ්ඩායමක සාමාජිකයන් බවද එම පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේය.හිතහොඳ දාස්තර ඝාතනයේ පළමු හා දෙවැනි සැකකරුවන් වන ඉහත කී අයිය මලෝ දෙදෙනා සමඟ චින්තක රුවන් ජයසේන හා යුද හමුදා කපිතාන්වරයකු වූ චන්දන වික්‍රමසිංහ නොහොත් සුදු මල්ලි නමැති අයද අත්අඩංගුවට ගෙන තිබිණි.

මොවුන්ගෙන් සැකකාර අයිය මලෝ දෙදෙනා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔවුන් දෙදෙනා පොඩි ලැසීගේ පාතාල කල්ලිය නියෝජනය කරයි. මනෝජ් මෙන්ඩිස්ගේ කණ්ඩායම සහ පොඩි ලැසීගේ කණ්ඩායම අතර දිගු කලක සිට පවතින මරා ගැනිල්ලේ ප්‍රතිඵලයක් ලෙස පෙරේදා (03දා) ඝාතනය කර තිබේද යන්න සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායම් කීපයක්ම යොදවා පරීක්ෂණ පවත්වන බව ඇල්පිටිය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම ඝාතනයට එකම කණ්ඩායමේ මතභේදයක් හේතු වන්නට ඇතැයි යන මතය බැහැර නොකරන බවත් ඝාතනයට පාතාලයේ සම්බන්ධයක් ඇත යන්න පොලිසියේ දැඩි විශ්වාසය වී තිබෙන බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-දම්සරී ලියනගේ-