අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම උත්සවයකට පැමිණි හෙලිකොප්ටරය නැවත පිටත්ව යාමේදී යානයේ සුළං පහරට මැණික් ගඟ ඉවුරේ ගසක අත්තක් කඩා වැටී මැණික් ගඟේ දිය නාමින් සිටි පිරිමියකු සහ
කාන්තාවක තුවාල ලබා පෙරේදා (3) උදේ

කතරගම දිසා රෝහලට ඇතුළත් කෙරිණ.

මෙසේ තුවාල ලබා රෝහල්ගත කළේ මාතර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණ දිය නාමින් සිටි ජී.එල්.ඒ. ජගත්සිරි (33) සහ ගාල්ල පෙරුමගේ කරුණාසීලි (64) යන දෙදෙනාය.

ජගත්සිරි නමැත්තාගේ වම් අතට බරපතළ හානි සිදුවී ඇති නිසා ඔහු හම්බන්තොට මහ රෝහල වෙත යැවූ බව කතරගම රෝහලේ වෛද්‍යවරු පවසති. කාන්තාව සීරීම් තුවාල සඳහා ප්‍රතිකාර ගෙන කතරගම රෝහලින් පිටව  ගොස් ඇත.

රුපියල් ලක්ෂ 745ක වියදමින් අභිනවයෙන් ඉදිකළ  කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පෙරේදා (3) පෙරවරු 9.00ට විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාව අසල හෙළිකොප්ටර් අංගනයට අග්‍රාමාත්‍යවරයා බස්සවා ඉන්ධන ලබාගැනීම් සඳහා ගුවන්ගත කරන අතරවාරයේ ගඟ ඉවුරේ තිබූ ගසක අත්තක් මොලෙය කඩා වැටී ඇති බව කියයි.

කතරගම පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

(කතරගම . එම්.කේ. නන්දසේන)