උඩවලව ජාතික වනෝද්‍යානයට අයුතු ලෙස ඇතුළු වී මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් සංචාරකයන් රැගත් සෆාරි ජිප් රථයකට  වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම සම්බන්ධයක් පුද්ගලයන් තිදෙනකු පෙරේදා (13) අත්අඩංගුවට ගත් බව හම්බේගමුව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම ඉකුත් ජුලි මස 10 වැනි දින පස්වරුවේ උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් ගල් අමුණ ජලාශය ආසන්නයේදී සිදුවී තිබිණි.

අත් අඩ ගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනා හම්බේගමුව රතඹලාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහතරත් නිහත් අතර පසුවන තරුණයන් බව හෙළී වී තිබේ.
සෙවණගල, එකමුතුගම, උස්වැලිආර ප්‍රෙද්ශයේ පදිංචි හේවයලාගේ පුෂ්පකුමාර රත්නායක නමැති 37 හැවිරිදි සෆාරි ජීප් රථ හිමියකු කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වෙඩි තැබීම සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියද අත්අඩංගුවට ගත ඇත.

සිද්ධිය වූ දින විදේශිකයන් පිරීසක් රැගත් පැමිණිලිකරුගේ සෆාරී ජිප් රථය තවත් සෆාරී ජීප් රථ දෙකක් හා වනජීවී නිලධාරීන් සමඟ උඩවලව ජාතික වනෝද්‍යානය තුළ සිටියදී ගල්අමුණ වැව ආසන්නයේ ගිනි අවියක් සමඟ සිටි මෙම සැකකරුවන් තිදෙනා නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව සෆරී ජීප් රථයේ සිටි වනජීවී නිලධාරීන් මෙම සැකකරුවන් කොටු කර ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් සෆාරී ජීප් රථයට වෙඩි තබා තිබේ.

මෙම වෙඩි තැබීමෙන් ජිප් රථයේ පසුපස කොටසට හානි සිදුව තිබුණු අතර එම සෆාර් ජීප් රථයේ  ගමන්ගත් ප‍්‍රංශ ජාතික යුවළගේ හා  ඔවුන්ගේ දරුවාගේ ජීවිත බේරී තිබුණේ හාස්කමකින් බව වනජීවී නිලධාහු කියති.

මොණරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරී ජේ.සී.සමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් නියෝග මත හම්බේගමුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.