මහනුවර ඓතිහාසික දළදා පෙරහරේ විෂ්ණු දේවාල පෙරහරට සහභාගී වූ ටිකීරි ඇතින්න දේවාල භූමියේ ගාල්කර සිටිය දී පෙරේදා  (14) උදෑසන බිම පෙරළි සිටිමට හේතුව වයස්ගත තත්ත්වය බවත් මේ වන විට
ඇතින්න තම නිවසේ සුවයෙන් සිටින
බවත් ඇය දේවාල භූමියේ වැටී සිටිය දී පරික්ෂා කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අසෝක දාංගොල්ල මහතා පැවසීය.

ප්‍රතිකාරවලින් අනතුරුව ඇතින්න ඊයේ (15) හිමිකරුගේ කෑගල්ලේ නිවසට රැගෙන ගොස් ඇත. ඇතින්න පෙරළී සිටීමට හේතුව අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් නොවන අතර මේ වන විට ඇය සුවෙන් බව ද අසෝක මහතා කීවේය. තවත් සතියකින් පමණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් නිවැරැදිව ප්‍රකාශ කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

ශරීර සෞඛ්‍යයෙන් පිරිහුණු ටිකිරා නම් වයෝවෘද්ධ ඇතින්න දළදා පෙරහරේ ගමන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වූ අතර ඇතින්නගේ භිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා පැවසුවේ ටිකිරි ගමන් කළේ තුන් වැනි රන්දෝලි පෙරහරේ පමණක් බවය.

පසුගිය වසරේ දළදා පෙරහැරට එක්වීමෙන්  පසුව මාස 6ක් පමණ ආහාර ජීර්ණ නොවීමේ රෝගයකින් පීඩා විදි ටිකිරි ඇතින්න ප්‍රතිකාර ලබමින් සිටි කාලයේදී රෝගය සුවවීම ප්‍රාර්ථනය කරමින් දළදා සමිඳුනට භාරයක් වූ බවත්, ඒ අනුව එය ඔප්පු කිරීම සදහා පෙරහරට එක් කළ බවත් ඔහු සඳහන් කළේය. මේ වන විට ඇතින්න සාමාන්‍ය සතකු ලෙස ආහාර පාන ගන්නා බවත් සතුන් වයසට යන විටදී තරුණ වියේ මෙන් ක්‍රියාශීලි නොවන බවත් ඔහු පැවසීය.

-චමිල් රූපසිංහ-