සිය බිරිඳට පොරවකින් කොටා ඝාතනය කළ පුද්ගලයකු ආණමඩුව රඹාවැව තම්මැන්නා වැව අසල ගසක එල්ලී සිය ගෙල වැලලාගෙන මියගොස්‌ තිබේ.


 ප්‍රදේශවාසීන් දැක ඉකුත් 14 වැනි දින සවස ආණමඩුව පොලිසියට මේ සම්බන්ධව දන්වා තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ
ආණමඩුව නෑබඩවැව පදිංචි දෙදරු පියකු වන සුනිල් ශාන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

 ඉකුත් 8 වැනි දින මියගිය තැනැන්තා සිය බිරිඳට පොරවකින් පහරදී ඝාතනය කොට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලින් අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සැක පහල කරයි.

 එලෙස ඝාතනයට ලක්‌වූ රසිකා ප්‍රියදර්ශනී නමැති (40) දෙදරු මව සිය සැමියා දිගින් දිගටම සිදුකළ වධදීම් ඉවසා ගැනීමට නොහැකිව තනිව නිවසේ වාසය කරමින් සිටියදී සැමියා විසින් ඝාතනය කර තිබූ බවට පොලිස්‌ පරීක්‌ෂණවලදී සනාථ වී තිබේ.

 ඝාතනයට ලක්‌වූ කාන්තාවට සියදිවි නසාගෙන සිටින පුද්ගලයා විසින් වසරකට පමණ පෙර තියුණු ආයුධයකින් පහරදී වම් අත කපා තිබූ බවද පොලිසිය කියයි.

 සිද්ධිය සම්බන්ධව ආණමඩුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසන්න කුමාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.

 අමරනන්ද විඡේසේකර - මහවැව