https://www.gossiplankanews.com/2019/08/text-full-gotabhaya-rajapaksa.html
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික මහා සම්මේලනයේදී  ඉදිරි ජනපති අපේකෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සමස්පූර්ණ කතාව මේ සමග පළවේ.
ආයුබෝවන් ,  අති පූජනීය මහා සංඝරත්නයෙන්  අවසරයි.  කිතුණු,  හින්දු,  ඉස්ලාම්  පූජක තුමන්ලාගෙන්ද අවසරයි. ශ‍්‍රී ලංකා ජනරජයේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි,  ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුලූ සියලූම මහජන
නියෝජිතවරුණි,  දේශපාලන පක්ෂ නායකවරුනි ,  වෘත්තීකයනි,  රණවිරුවනි, කළාකරුවනි, මාධ්‍යවේදීයනි, ජාතික සංවිධාන නියෝජිතයිනි, වෘත්තීය සමිති නියෝජිතයිනි,  මව් බිමේ සෑම ගම්මානයක්ම නියෝජනය කරමින් මෙහි රැස්ව සිටින පිරිස මෙන්ම මෙරට හා පිටරට සිටන සියලූම දේශපේ‍්‍රමී ශ‍්‍රී ලාංකිකයනි,  හිතවතුනි. 

ශ‍්‍රී ලංකා දේශපාලනයේ ඉතාමත්ම තීරණාත්මක සංධිස්තානයක් සටහන් කරනා මේ  ඓතිහාසික සමුලූවේදි, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ ගනනාවක් මෙන්ම  ස්වාධීන සංවිධාන හා කන්ඩායම් රැසක පොදු අරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද දින මාව නම් කරනු ලැබීම මම ඉතාමත්ම ගෞරවයෙන් හා නිහතමානීව පිළිගන්නවා.


ඒ අපේක්ෂකත්වය මා දකින්නේ මේ රටේ අනාගත දේශපාලනයේ විප්ලවීය වෙනසක් නිර්මාණය කරන්නට නියමිත ජනතාවාදී, ප‍්‍රගතිශීලී බලවේගයන් විසින් මට භාර දුන් යුග මෙහෙවරක් ලෙසයි. මේ තීරණය ගැනීමට මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය වූ සියලූ දෙනාටම මම හිසනමා ආචාර කරනවා.

පසුගිය කාලය පුරා රට වෙනුවෙන් හඩක් නැගූ මහා සංඝරත්නය,  ආගමික පූජකතුමන්ලා, දේශපාලනඥයන්, ජාතික සංවිධාන, මාධ්‍යවේදීන්, සමාජ ජාලා ක‍්‍රියාකාරිකයන්, හා විශේෂයෙන්ම රටේ තරුණ පරපුර පෙරටුකරගත් පොදු මහජනතාවට මම මේ අවස්ථාවේ මගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරනවා. 

විශේෂයෙන්ම මට මේ  වගකීම බාරදුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණටත්  මගේ  අවංක ස්තූතිය මෙහිදී ප‍්‍රකාශ කරනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රටේ අනාගතය ගැන දැක්මක් තිබෙනවා.

සමස්ථ ශ‍්‍රී ලාංකීය ජනතාවට නායකත්වය දෙමින්  මව්බිමට සාමය සතුට හා සෞභාග්‍යය උදාකිරීමට ලැබෙන මේ අවස්ථාව මා ඉතා අගය කොට සලකනවා. බාර දෙන  ඕනෑම වගකීමක් ඉහලින්ම ඉටු කිරීමට කිසිවිටක නොපැකිලූනු මම ජනතාව ඉදිරියේ අද ඇති අභියෝගය ජයගනීමට අවශ්‍ය නායකත්වය සැපයීමට සූදානම් බව ඔබ සියලූ දෙනා හමුවේ ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරණවා.


 මගේ 20 වසරක යුධ හමුදා සේවය තුලත් දස වසරකට ආසන්න කාලයක් රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරද්දීත්  පැවරුන සෑම වගකීමක්ම  මම සාර්ථකව ඉටුකලා.  මම හැම විටම උත්සාහ කලේ මට යම් වගකීමක් බාරදුන් විට සීමාවන්ට කොටු නොවි, සම්මතයෙන්  ඔබ්බට ගොස් ඒ වගකීම ඉටුකරන්නටයි. 

දැනට වසර 35 කට පමණ පෙර මම තරුණ හමුදා නිලධාරියෙකු වශයෙන් සේවය කරන කාලයේ මා විසින් නායකත්වය දුන් එක් ක‍්‍රියාන්විතයක් අගය කරමින් මට ප‍්‍රශංසා ලිපියක් එවු එවකට හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජෙනරාල් සිරිල් රණතුංග මා ගැන මෙසේ කියා තිබුනා. 

‘ AN OFFICER WHO TAKES INITIATIVE OVER AND ABOVE THE NORMAL CALL OF DUTY‘ පවරා දුන් වගකීමෙන් ඔබ්බට ගොස් සේවය කරන නිලධාරියෙක්.‘

වසර 30 කට  ආසන්න කාලයක් තිස්සේ පැවති ත‍්‍රස්ථවාදය වසර 3 1/2 වැනි කෙටි කලකදී අවසන් කිරීමට සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අවශ්‍ය උපායමාර්ගික හා පරිපාලනමය සහාය  ලබාදෙන්නට මට පුලූවන් වුනේත් ඒ ගුණාංගය නිසායි. එසේම පසු කලක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය බවට පත් කිරීමට  හැකි වූයේත්,  නගරයේ ක්ෂිතිජ රේඛාව වෙනස්කරන  දැකුම්කලූ ආයෝජන රැසක් ගෙන ඒමට හැකිවූයෙත් මා කිසිවිටක සීමාවලට කොටු නොවී  මගේ වගකීම් ඉටු කල නිසායි.  


එදා රට වෙනුවෙන් මගේ වගකීම ඉටු කිරීමේදි කිසිදු බාහිර බලවේගයකට එයට බාදා කරන්නට මා ඉඩ දුන්නේ නැහැ. මගේ රටට එරෙහිවන කිසිවෙකුට මා හිස නැමුවේ නැහැ. අනාගතයේත් මගේ මාතෘ භූමියේ ස්වෛරීත්වයට අත තබන්නට මා කිසිවෙකුට ඉඩ දෙන්නේ  නැහැ.

අද මේ රටට අවශ්‍ය වී තිබෙන්නේ අනාගතය පිලිබද දැක්මක් ඇති, රට සංවර්ධනයට සැලැස්මක් ඇති,  එම සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට හැකියාව ඇති,  විනය ගරුක , දූෂණයෙන් තොර ජනතා හිතවාදී, දේශපේ‍්‍රමී, නායකත්වයක්. ජනාධිපතිවරයෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි නායකත්වයකුයි. ඔබ අපේක්ෂා කරන නායකත්වය දීමේ හැකියාව මට ඇති බව මම දැනටමත් ක‍්‍රියාවෙන් ඔප්පු කොට තිබෙනවා. අපේ රජයක් තුල ප‍්‍රථම කාර්ය භාරය වන්නේ රට තුල පූර්ණ ආරක්ෂාව තහවුරු කිරීමයි.  අපිට යලිත් මේ දිවයින ලෝකයේ සුරක්ෂිතම රට බවට පත්කල හැකි බව මම ඉතා විශ්වාසයෙන් ප‍්‍රකාශ කරනවා. ඔබේත්, ඔබේ දූ දරුවන්ගේත්  ආරක්ෂාවේ වග කීම මා බාරගන්නවා. බෞද්ධ දර්ශනය තුල අපට උගන්වා තිබෙන්නේ සියලූ ආගම්වලට ගරු කරන්නයි.

දෙදහස් පන්සිය වසරකට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් තිබෙන අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා, විවිධ ආගම් අදහන්නන් සිටිනවා.  අපි හැමදාමත් එකිනෙකාගේ ආගම්වලට ගරු කරමින් එකිනෙකාගේ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරුකරමින් සුහදව ජීවත් වූ ජාතියක්. අපේ ශක්තිය විය යුත්තේ ඒ එකමුතු කමයි.

මේ මාතෘ භූමිය තුල ඉපදුන  ඕනෑම අයෙකුට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ආරක්ෂිත පරිසරයක් යලි ගොඩ නගන බවට මම සහතික වෙනවා.  මම  කිසිවිටෙකත් අන්තවාදී ත‍්‍රස්ථවාදයට ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම උතුරේ ජනතාවට විශේෂිත වු අපේක්ෂාවන් ගැන අපට මනා අවබෝධයක් තිබෙනවා. ඔවුන්ගේ මේ ගැටලූ අපේ රජයක් විසින් නිසැකවම විසඳුන්නට කටයුතු කරනවා.

2005 , 2014 කාලයේ මහින්ද චින්තන ප‍්‍රතිපත්ති යටතේ අපේ රටේ විශාල සංවර්ධනයක් සිදුවුනා.  දැන් අපිට තිබෙන්නේ  එතැන් සිට රට ඉදිරියට ගෙන යාමයි.  ඒ සඳහා වර්ථමාන ගෝලීය ආර්ථික ප‍්‍රවණතා සමග මගේ දැක්ම මුසු කොට අනාගතයට අවශ්‍ය නව සැලසුම්  ඉදිරිපත් කරනවා.  පසුගිය කාලයේ මේ රටේ විද්වතුන් , වෘතිකයන් හා ව්‍යාපාරිකයන්  එක්ව වියත්මග වැනි සංවිධාන හරහා කල අධ්‍යයනයන් මෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සමග පිලිසඳරක් වැඩසටහන යටතේ රටපුරා ගොස් මහජනතාව සමග සංවාදයෙන් එක්කරගත් දැනුමද අපි ඒ සඳහා යොදා ගන්නවා.

අපේ අරමුණ  ඵලදායී පුරවැසියෙක්,  සතුටින් ජීවත් වන පවුලක්,  විනය ගරුක සමාජයක් හා  සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි. සෑම පුරවැසියෙකුටම  ආර්ථික ස්ථාවරත්වයකුත්, දියුණු වීමේ සම අවස්ථාවකුත්, ගෞරවාන්විතව ජීවත්වීමේ   අයිතියත් තිබිය යුතුයි.  ඒ සඳහා අවශ්‍යවන පරිසරය සකස් වන ජනතා කේන්ද්‍රීය ආර්ථික ප‍්‍රතිපත්තියක් අපි හඳුන්වාදෙනවා. මානව සම්පත් සංවර්ධනය අනාගතයේ බිහිවන අපේ රජයක මූලික වගකීමක් වෙනවා.

රටේ අනාගත පරපුර පලදායි පුරවැසියන් කරන්නට අවශ්‍ය දැනුමින් ඔවුන් පෝෂනය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුනතා වර්ධනයට අපි විශේෂ අවධානයක් යොමු කරනවා.  සියලූම තරුණ තරුණියන්ට අධ්‍යපන ක්ෂෙත‍්‍රය තුල අතරමං වීමට ඉඩ නොදී ඔවුන්ට උසස් අධ්‍යාපනයට හා තාක්ෂණික අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කරනවා.  මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ඉතා කෙටි කාලයක් තුල ගොඩනංවනවා. එමගින්  අලූතින් රැකියා අවස්ථා බිහිකිරීමට  මෙන්ම තරුණ පරපුර තුලින් පුද්ගලික ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහිකිරීමට අවශ්‍ය කරණ ආර්ථික වටපිටාව සකස් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ හරහා ශිල්පීය දැනුම ලබා දෙන අතර නව නිර්මාණයන් කිරීම සඳහා අපේ තරුණ පරපුරට අතහිත දිය යුතුයි.  අපේ දීර්ඝ කාලීණ අරමුණ විය යුත්තේ නව නිර්මාණයන්ගෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රට බවට පත් වීමයි. සංවර්ධනයේ යෝධ ඉදිරි පිම්මක් සඳහා නව ලෝක ප‍්‍රවණාතාවන් අනුගමනය කරමින් තාක්ෂණය පෙරටු කරගත්  ඉදිරි සැලසුම් අපි සෑම ක්ෂේත‍්‍රයකටම හඳුන්වා දෙනවා.

අපේ ආර්ථික ප‍්‍රතිපත්තිය තුල දේශීය ව්‍යාපාර ආරක්ෂා කරමින් ගෝලිය ආර්ථිකය තුල නව වෙළඳපොල අවස්ථා සොයා යාමට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනතාවගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් අදත් ජීවත්වන්නේ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි. මේ කර්මාන්ත වඩා පලදායී කොට මේ ජනතාවගේ ආර්ථිකයන් නගාලීම සඳහා අපට නවීනතම තාක්ෂණයන් උපයෝගි කරගත හැකියි.  ජනතා හිතවාදී කාර්යක්ෂම  රාජ්‍ය සේවයක් සහතික කිරීම රජයක මූලික වගකීමක් වෙනවා. ඒ සඳහා මුලින්ම කල යුත්තේ රාජ්‍ය නිලධාරියා දේශපාලන බලපෑම් වලින් නිදහස් කිරීමයි. තම රාජකාරි වගකීම් නිසියාකාරව ඉටුකිරීම සඳහා තීන්දු තීරණ ගන්නා අවංක රාජ්‍ය නිලධාරීනට අවශ්‍යකරණ උපරිම නීතිමය රැකවරණය ලබාදීමට අපි කරයුතු කරණවා.

එසේම ඉහල ප‍්‍රමිතියක සේවාවක් ජනතාවට ලබා දීමට අවශ්‍ය කරන දේශීය හා විදේශීය පුහුණුව රාජ්‍ය සේවකයන්ට  ලබාදෙන්නට කටයුතු කරනවා. රාජ්‍ය ආයතන තුල ඊ තාක්ෂණය උපරිම වශයෙන් භාවිත කිරීම හරහා ජනතාවට වඩා හොඳ කාර්යක්ෂම සේවාවක් ලබා දෙනවා. 
රජයෙන් ලබා ගන්නා සේවාවන්, හැකිතාක් දුරට  තාක්ෂණය භාවිත කරමින් ලබා දීම තුලින් දූෂණයට ඇති අවස්ථාවන් අවම කරනවා.  අවිධිමත් නාගරීකරණය වර්ථමානයේ විවිධ සමාජ ගැටලූවලට හේතුවක්ව තිබෙනවා. අප මේ ගැටලූව දෙස වඩාත් නිර්මාණශීලීව බැලිය යුතුයි.

ලංකාව   ඕනෑම තැනක ජීවත් වීමට සුදුසු පරිසරයක් තිබෙන රටක්. ඒ නිසා  අප කල යුත්තේ සංවර්ධනය රට පුරා විහිදුවා ලීමයි. රැකියා හෝ ව්‍යාපාරික අවස්ථාවන් සොයා ජනතාව නගර වලට ඇදී එනවා වෙනුවට අපි එම අවස්ථාවන් ජනතාව අතරට ගෙන යා යුතුයි.  රටේ සෑම ප‍්‍රදේශයක්ම යාකරමින්  ඇතිකල මාර්ග පද්ධති  හා දුම්රිය මාර්ග දියුණුව ඉදිරියට ගෙන යමින්  ප‍්‍රවාහන සේවාවල විශාල ප‍්‍රගතියක් හැකි ඉක්මනින් අපි අත්පත් කරගත යුතුයි. 

ජලය විදුලිය, පාසැල් , රොහල් වැනි ජීවත් වීමට අවශ්‍ය මූලික පහසුකම් රටේ සෑම ප‍්‍රදේශයකම දියුණු කිරීම තුලින් කර්මාන්ත හා ව්‍යාපාර නගරයට සීමා නොවී ගමට යාමට උනන්දු කිරීමට පුළුවන්. රටේ සෑම ප‍්‍රදේශයකටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා. එවිට අපේ තරුණ පරපුරට නිවසේ සිටම තාක්ෂණය භාවිතා කරමින් ලෝකය සමග ගනු දෙනු කිරීමට හා ව්‍යාපාර කිරීමට පුළුවන්.

බොහෝ මැදි ආදායම්  පවුල්වලට  ගැටලූවක් වන  තමුන්ගේම නිවසක  අවශ්‍යතාව විසඳාලීම සඳහා විධිමත් හා කඩිනම් වැඩපිලිවෙලක් මම ජාතික මට්ටමෙන් හඳුන්වාදෙනවා. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීම  අප සියලූ දෙනාගේම වගකීමක්. මා එදා  ආරම්බ කල  නගර අලංකරණ ව්‍යාපෘති හා හරිත නගර සංකල්පයන් රට පුරා ව්‍යාප්ත කිරීමට අපි අනාගතයෙදී කටයුතු කරනවා.  රටේ පවතින සියලූම ස්වාභාවික වනාන්තර ආරක්ෂා කරන අතර විනාශවීමේ තර්ජනයට මුහුණ පා තිබෙන  වනාන්තර නැවත ප‍්‍රතිශ්ඨාපනය කරනවා.  ඒ වගේම සියළු මුඩු ඉඩම්  සුදුසු පරිදි උපයෝගී කරගෙන නව ජාතික වන වගා වැඩපිළිවෙලක් දියත් කරනවා.

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති අපේ රට, හැමදාමත්  ආගම දහමට ලැදි,  ගුණ ගරුක මිනිසුන් සිටින,  හොඳ සංස්කෘතියකට හා  සාරධර්ම වලට ප‍්‍රසිද්ධ  රටක්.  නමුත් අද පාරෙ තොටේ යන විට , වාහන එලවන කොට, කුණු කසල ඉවතලන විට, කාන්තාවන්ට සලකන ආකාරය දෙස බලන විට මේ ගුණ ධර්ම වල පිරිහීමක් දක්නට ලැබෙනවා. අන් අයට හිරිහැරයක් නොවනා ආකාරයට ජීවත් වන්නට සෑම පුරවැසියෙකුටම වගකීමක් තිබෙනවා. ජනතාව අපේක්ෂා කරන එම විනය ගරුක සමාජයක් බිහිකිරීමට අපි කටයුතු කරනවා.  ඒ සඳහා ආදර්ශය ලබා දිය යුත්තේ රටේ නායකත්වය විසින්මයි.

ඉතිහාසයේ  අපේ  රට ප‍්‍රසිද්ධව තිබුනාක් මෙන් යලිත් කාන්තාවකට බිය නැතිව රටේ  ඕනෑම තැනක  ඕනෑම වෙලාවක තනිව ගමන් කල හැකි ආකාරයේ රටක් අපි ගොඩනගනවා. විවිධ අනතුරු වලට ලක්වී සිටින රණ විරුවන් හා සිවිල් වැසියන් මෙන්ම උපතින්ම විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියන් කෙරෙහි අපි කවදත් විශේෂ අවධානයක් යොමුකලා. ඉදිරියෙදී  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා දීමේදී ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා පිළිබඳව සලකා බලා ඔවුන්ට ප‍්‍රමුඛත්වය දීමට අප කටයුතු කරනවා. 

අපේ සාරධර්ම හා සංස්කෘතිය, දේශීය චින්තනය, ජාතියේ ස්වෛරීත්වය අපට ඉතාමත්ම වැදගත්. අප සෑම රටක් සමගම මිතුරුදම් පවත්වා ගැනීමට සූදානම්. නමුත් අපි  කිසිම රටකට අපේ ස්වාධිනත්වය පවාදෙන්නට සූදානම් නැහැ. ඒ නිසා රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලදී, කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන, රටේ ස්වෛරීත්වය හැම විටම  ආරක්ෂා කරන,  ඕනෑම රටක් සමඟ සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය  සුරකින, ගෞරවාන්විත පාලනයක්  අපි යලි ස්ථාපිත කරනවා.

අතීතයේ වූ වැරදි නිවැරදි කරගන්නවා මෙන්ම අප යන ගමනේත් අඩුපාඩු සොයාබලා, කඩිනමින් එවා නිවැරදි කරගෙන අපේ දීර්ඝ කාලීණ අරමුණ කරා යා යුතුයි. මේ සඳහා  පුද්ගලික අරමුණු වලට වඩා පොදු අරමුණකින් ක‍්‍රියාකරන, හදවතින්ම  රටට ආදරය කරණ, නිර්මාණශීලී, දක්ෂ,  බුද්ධිමත් කන්ඩායමක් එක්කරගන්නට අපි කටයුතු කරනවා. ඉදිරියේ එන ජනාධිපතිවරණය රටට ඉතාමත් තීරණාත්මකයි. එය රටේ අනාගතය විසඳන මැතිවරණයක්. ඒ නිසා මේ මොහොතේ අපේ රටේ සියලූ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පක්ෂ බේදයකින් තොරව අත්වැල් බැඳගන්නා මෙන් සිංහල දෙමල මුස්ලිම්, මැලේ බර්ගර් යන සියලූ ජන කොට්ටාශවලට අයත් දේශපේ‍්‍රමී ජනතාවගෙන් මම  ඉල්ලා සිටිනවා.

මේ සුවිශේෂී දවසේ  මම ඔබෙන් විශේෂ ඉල්ලීමකුත් කරන්නට කැමතියි.

අද සිට අපි ආරම්භ කරන්නේ ලංකා ඉතිහාසයේ තවත් ආකාරයක නිදහස් අරගලයක්.  ඒ ගෞරවාන්විත අරමුණ වෙනුවෙන් කරනා මැතිවරණ ව්‍යාපාරයද අපි ඉතාමත්ම  ගෞරවාන්විත ආකාරයට කලයුතුයි. මේ මැතිවරණ ව්‍යාපාරයෙන්ද විද්‍යාමාන විය යුත්තේ රජයක් පිහිටවූ පසු අපි ක‍්‍රියා කරනා ආකාරයමයි. ඒ නිසා අපේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයම විනය ගරුක, නීතිගරුක සදාචාරාත්මක මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යමු.  මේ මැතිවරණ ව්‍යාපාරය තුල හැම විටම පරිසර ආරක්ෂණයට මුල් තැන දෙමු.  පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සම්පූර්ණයෙන්ම තොරවූ මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලූම පක්ෂවලටත් ආදර්ශයක් සපයමු. දේශපාලන ප‍්‍රතිවාදීන්ට හිංසා කරන, පෞද්ගලික අපවාද කරන, බොරු කියා ජනතාව රවටන මැතිවරණ සංස්කෘතිය අපි වෙනස් කරමු. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ අපේ ප‍්‍රතිවාදීන්ගේ දුර්මතවලට  තාර්කිකව සත්‍යයෙන් පිළිතුරු දෙන ලෙසයි.  අද මේ රටේ ඡන්දදායකයා දේශපාලනිකව ඉතා සංවේදීයි. විශේෂයෙන්ම අද රටේ තරුණ පරපුර ඉතා බුද්ධිමත්.  අවංක, සත්‍යවාදී දේශපාලන සංස්කෘතියක් අපි ඔවුන්ට හඳුන්වා දිය යුතුයි.

අපි තරුණ ජනගහනයක් ඉන්නා රටක්.  අප සියලූදෙනාටම අවශ්‍යව තිබෙන්නේ මේ අනාගත පරපුරට සාඩම්බරයෙන් ජීවත්විය හැකි නිදහස්, නිවහල් සෞභාග්‍යමත් රටක් ගොඩ නැගීමටයි. 
ඒ සඳහා අවශ්‍ය කරණ දැක්ම අප සතුව තිබෙනවා.  අප දැනටම ඒ සඳහා  අවශ්‍ය සැලසුම් සකස් කොට තිබෙනවා. මෙතෙක් බාරගත් සෑම වගකීමක්ම ඉහලින්ම ඉටුකලා සේ මෙවරත් ඔබ සියලූ දෙනා ඉදිරියේ ගෞරවයෙන් මම ප‍්‍රකාශ කරන්නේ අද රටට අත්‍යවශ්‍යව තිබෙන,  ඔබ සියලූ දෙනාම ඉල්ලන  ඒ ජාතික කර්තව්‍යය ඉටුකිරීමට මා සූදානම් බවයි.

තෙරුවන් සරණයි