වැඩිම පොත් සංඛ්‍යාවක් කියවා ප්ලැටිනම් පදක්කම් ලබන සිසුන් අතරින් ජාතික මට්ටමින් හදුනාගන්නා විශිෂ්ටතම සිසුන් 100 දෙනකුට ඉදිරි මාස තුන ඇතුළත චීනයේ අධ්‍යයන  සංචාරයක් සඳහා අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාසල්
සිසුන් අතර පොත් කියවීමේ පුරුද්ද ඉහළ නැංවීමත් ඔවුන් කියවීමට  දිරිගැන්වීමත් අරමුණු කරමින් පාසල් පද්ධතිය වෙත හඳුන්වාදී ඇති 'කලණ මිතුරු පොත් සුමිතුරු ජාතික කියැවීම ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියරේ සිසු ඇගයීම් කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිතය.


2018 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන යටතේ පාසල්, කලාප, පළාත් සහ ජාතික වශයෙන් ප්‍රධාන අදියර 4ක් යටතේ සිසුන්ගේ කියැවීම් කුසලතා මැන බැලීමක් සිදුකෙරේ.
දිවයිනේ සියලුම පාසල 6 - 13 ශ්‍රේණිවල සිසුන්ට මෙම වැඩසටහනට එක්වෙමින් පොත්පත් කියවීම වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව සලසා තිබේ.

මේ සදහා සහභාගී වන සියලු සිසුන්ට තමන් විසින් කියවා රසවිදිනු ලබන පොත් සම්බන්ධව සාහිත්‍යමය විචාර වාර්තාවක් සකස් කිරීමටද පැවරෙන අතර එම වාර්තා අතරින් විශිෂ්ටතම වාර්තා සම්පාදනය කරන සිසුන්ට වසරේ හොදම පාසල් කියවන්නන් අතරට එක්ව ප්ලැටිනම්, රන් සහ රිදී පදක්කම් හිමිකර ගැනීමට අවස්ථාව සලසා තිබේ.

ඒ අනුව 2019 වසරේ වැඩිම පොත් ප්‍රමාණයක් කියවමින් පදක්කම හිමිකර ගැනීමට සූදානමින් සිටින සිසුන් සංඛ්‍යාව 3,000කට ආසන්නය. වසරක් පාසා අඛණ්ඩව ක්‍රියාවට නංවන මෙම වැඩසටහන සම්බන්ධ සියලු විස්තර ඇතුළත් චක්‍රලේඛ සියලු පාසල් වෙත යොමුකර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ
www.moe.gov. Ik වෙබ් අඩවියෙන්ද මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු දැනගත හැකිය.

-සුමන උදයන්ත-