බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණයට අදාළව ඉදිරි දෙසතිය තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ තුනෙහි පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න
මෙනවිය විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාට ඊයේ (29) නියෝග කළාය.

මෙම නියෝගයේ දැන්වීම්, අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වහාම බාර දෙන ලෙසද මෙහිදි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේත්තුවට නියම කළාය.  අධිකරණය මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අඳාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝග ප්‍රකාරව ඉකුත් ජුනි මස 20 වැනිදා රවි කරුණානායක මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශණයන් කොටසක් ලබාදුන්නද එහි ඉතිරි කොටස ලබා දීම සඳහා කිහිප වතාවක්ම දැනුම්
දුන්නද ඔහු හිතාමතාම එය මඟ හරින බවට රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ නදී අපර්ණා සුවඳගොඩ මහත්මිය දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.

මෙම සිද්ධියට අදාළව නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජෙයෂ්ඨ නිතීඥ නදී අපර්ණා සුවඳගොඩ මහත්මිය සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන 3 හි  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

රජයේ නිතීඥ නදි අපර්ණා සුවඳගොඩ මහත්මිය : භාණ්ඩාගර බැඳුම්කර සිද්ධියට අදාළව 2107 අගෝස්තු මස 02 වැනිදා රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ ලබාදිම සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස ඉකුත් සැප්තැම්බර් මස 07 වැනිදා නීතිපතිවරයා ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා. මේ සිද්ධියට මේ වන විට වසරක් ගත වෙලා. රවි කරුණානායකගෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ගන්න සී අයි ඩී එකට මේ වන තෙක් හැකියාවක් ලැබී නැහැ. ඔහු හිතාමතාම් මේ ප්‍රකාශය ලබා දීම මග හරිනවා කියන සැකය දැන් මතු වී තිබෙනවා.

ඉකුත් අප්‍රේල් මස 22 සහ ජුනි මස 06 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තතමේන්තූවේ පෙනී සිටින්නට දැනුම් දුන්නත් ඔහු පැමිණියේ නැහැ. පසුව අධිකරණය මහින් ඉකුත් ජුනි මස 20 වැනිදා නියෝගයක් නිකුත් කළා ජුලි මස 07 වැනිදා එම ප්‍රකාශය ලබා දෙන එන්න කියලා. අධිකරණ නියෝග ප්‍රකාරව ඔහු එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

නමුත් සම්පූර්ණ ප්‍රකාශය ලබා දුන්නේ නැහැ. ලබා දුනනේ ප්‍රකාශයෙන් බාගයයි.
ඉතිරිය ලබා ගැනීමට අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව ඔහුට අගෝස්තු මස 01 වැනිදා දුරකතනයෙන්  ඇමතුමක් ලබා දුන්නා. ඔහු ප්‍රතිචාර දැක්වුවේ නැහැ. පසුව අගෝස්තු 05 වැනිදා නැවතත් දුරකතනයෙන් ඔහු ඇමතු පසු ඔහු සඳහන් කර තිබුණේ අගෝස්තු 07 වැනිදා සී අයි ඩි යට පැමිණෙන බවයි. ඒත් ඔහු එදිනත් ආවේ නැහැ. පසුව 21 වැනිදා එනවා කිව්වා. එදිනත් නැහැ. 26 වැනිදා කතා කළාම දහවල් 12න් පස්සේ ගන්න කීවා. 12න් පස්සේ ගත්තාම ප්‍රතිචාර නැහැ.

ඔහු මේ ප්‍රකාශය ලබාදිම හිතමතා මඟ හරින බව තමයි හැඟී යන්නේ. මේ හේතුවෙන් විමර්ශනවලට බාධාවෙලා.  ඒ හේතුවෙන්  ඉදිරි දෙසතිය තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට මෙම ප්‍රකාශය ලබා දෙන ලෙස නියෝගයක් නීකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.ඒ අනුව ඊයේ (29) දින සිට සති දෙකක කාලයක් තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය රවි කරුණානායකට නියෝගයක් නිකුත් කරමින් සිද්ධියට අදාළ නඩුව ලබන නොවැම්බර් මස 21 වැනිදා තෙක් කල් තැබිය.

2015 පෙබරවාරි මස 01 වැනිදා සිට 2016 මාර්තු මස 31 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් පිළිබදව පරීක්ෂා කිරීම, විමර්ශනය කිරිම හා වාර්තා කිරීම සඳහා පත්කරන ලද විමර්ශන කොමිෂන් සභාව විසින් ස්වකීය වාර්තාවේ සඳහන් කර ඇති 25 වන නිර්දේශය සම්බන්ධයෙන් 2018 ජනවාරි මස 24 වැනිදා සිට කරන ලද විමර්ශනයේදි එකී කොමිෂන් සභාව විසින් 2017 අගෝස්තු මස 02 වැනිදා පවත්වන ලද සැසිවාරයේදි රවී කරුණානායක අසත්‍ය සාක්ෂි ලබාදුන් බව අනාවරණය වන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අඳාළව අධිකරණය වෙත වාර්තාවක් මඟින් කරණු ඉදිරිපත් කර තිබිණි.

-නිමන්ති රණසිංහ-