එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරිමට සහාය පළ කරන එජාප මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් මුදල් අමත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ නිල නිවසේදි පෙරේදා (28) රාත්‍රියේ පැවැත්විණි.
මෙම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස මහතාට සමීපතම මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසක් සහභාගි වි ඇතැයි වාරිතා වේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව පවත්වන රැලි මාලාවේ මීළග රැළිය ලබන 05 වැනිදා කුරුණෑගල දි
පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

මෙම රැලි මාලාව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ද පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සමීක්ෂණ පිළිබඳ විශ්ලේෂණයක් ද එහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇතැයි වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් ද එහිදී සාකචිඡා කර ඇත. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්කිරීම පිළිබදව සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ඉදිරි දිනවලදි සාකච්ඡා කිරීමට ද මෙහිදී එකඟතාවක් පළවූ බව පොදු සැපයිම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ  කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රනිල් සජීත් සුසංයෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා පක්ෂයේ සියලු දෙනා එකමුතුකරගෙන කණ්ඩායමක් ලෙස තරග කිරිමටද එහිදී තීරණය වූ බව අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කළේය.
අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, චන්ද්‍රානි ඛණ්ඩාර, ඉරාන් වික්‍රමරත්ත, සුජීව සේනසිංහ, අජිත්. පී පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම හමුවට සහභාගී වී ඇත.

-නිමල කොඩිතුවක්කු-