තරුණ තරුණියන් රජයේ රැකියා ලබාදෙන්න කියලා ඉල්ලුවත් මේ රට සංවර්ධනය කිරිමට නම් රාජ්‍ය සේවකයන් පිරිස ලක්ෂ පහක් හයක් දක්වා අඩු කළ යුතුව ඇතැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා පැවසිය. ඒ මහතා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ (19දා) පැවැති එජාප තරුණ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක් වෙමිනි. එහිදී තවදුරටත් කතා කළ රවි
කරුණානායක ඇමැතිවරයා මෙසේද කීය.


මේ වන විට රජයේ සේවකයන් ලක්ෂ පහළොවක් සිටිනවා. නමුත් රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ පහක්, හයක් සිටිම ප්‍රමාණවත්, රටේ මුළු ආදායමෙන් සියයට හැත්තෑ පහක්ම වැය වෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නයි. තවත් සියයට 25ක් විශ්‍රාම වැටුප් සඳහා ගෙවනවා. එහෙම කොහොමද රට සංවර්ධනය කරන්නේ?  සුද්දන්ගෙන් නිදහස ලබාගත්තට පස්සේ අපේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගිහින් තිබෙනවද?

අපි බෝඩ් ලෑලි අල්ලගෙන පාරවල් දිගේ ඇවිදින කොට අනෙක් රටවල් ජනතාව මුල්කරගෙන ආර්ථිකය නඟාසිටුවන්න කටයුතු කරනවා. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන නෑ. ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂ කිහිපයකින්ම අපේක්ෂකයෝ ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරනනේ ජනප්‍රියම අපේක්ෂකයා නෙවෙයි. අපි ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයයි.

මම අරයාගේ පුතා, යුද්දෙ ජයගත් කෙනා, ආර්ථිකය, ගොඩනැහුව කියන කෙනා නෙමෙයි අපි පත්කරන්නේ. වෙනස්කම් වන එක රටට යහපතක්. ඒ වෙනස්කම් සමගින් පක්ෂයත් රටත් ජනතාවත් වෙනස් කරමින් ඉදිරියට යා යුතුයි. ඒක තමයි පක්ෂයක, පුද්ගලයකු සතු දක්ෂතාව.

-ශිරාන් රණසිංහ-