බීමත්ව මෝටර් රථය පදවා ගෙන යන විට එය නතර කර සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පිරිසකට තම පාසලේ ජනප්‍රිය බව කියමින් සාපරාධී බලහත්කාරය පෑ බව කියන මාතර ප්‍රසිද්ධ පාසලක
ගුරුවරයෙකු ලබන 09 වැනිදා
තෙක් රීමාන්ඩ් බාරයට පත් කරන ලෙස මාතර වැඩ බලන අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා පෙරේදා (31) නියෝග කළේය.

 එසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ මාතර දෙවිනුවර පදිංචි අමර දුමින්ද මුතුමාල නැමති රසායන විද්‍යා ගුරුවරයෙකි.

ඔහු මෝටර් රථය පදවාගෙන එන අතරතුර මාතර කොටු දොරකඩ අසල දී පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබුණි. මත්පැන් පානය කර ඇත්දැයි තහවුරු කෙරෙන බැලුනයක් පිම්බීම සඳහා සැකකරුට දී තිබෙන අතර ඔහු එය ප්‍රතිකේෂ්ප කර ඇත.

ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා මාතර මහ රෝහලේ වෛද්‍යවරයකු හමුවී ඉදිරිපත් කළ අවස්ථාවේදි ද ඔහු ඒ ආකාරයටම කලබලකාරී ලෙස හැසිරුණු බවත් සැකකරු බීමතින් සිටින බවට වෛද්‍යවරයා තහවුරු කර ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකාර ගුරුවරයා ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

-දෙයියන්දර ජයන්ත ජයවර්ධන-