මෙතක් කලක් උපාධිධාරීන්ට කඳුළු ගෑස් පමණක් උරුම කළ ආණ්ඩුවක්, රට වැසියාගේ සහ බදු ගෙවන්නන්ගේ මුදලින් වාසියක් ලබමින් කඩිමුඩියේ උපාධි පත්වීම් දහස් ගණනක් ලබාදෙන්නේ
මැතිවරණයක් ඉලක්ක කරමින් මේ රටේ සමස්ත ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් නොවන බව සක්සුදක් සේ පැහැදිලි යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩි කබ්රාල් මහතා අවධාරණය කරයි.

රජය විසින් රැකියා වීරහිත උපාධිධාරින්  16,800කට කඩිමුඩියම රජයේ රැකියා පත්වීම්
ලබාදීම නිවැරදි කළමනාකරණයකින් යුතුව රටක් පාලනය කිරීමේදී කොතරම් දුරට සාධරනීය වැඩපිළිවෙලක් දැයි ප්‍රශ්න කරමින් හිටපු අධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත්  කතාකළ අජිත් නිවාඩි කබ්රාල් මහතා,

"අවුරුදු හතරමාරක් තිස්සේ මේ රජයට උපාධිධාරින් සහ විශ්වවිද්‍යාල සිසුන් සමග තිබූ එකම සම්බන්ධය නම් ඔවුන්ට  සතියකට වරක්වත් බැටන් පොලුවලින් පහරදී ජල ගැනත්වලින් පීඩාවට පත්කොට, කඳුළු ගෑස් ගැසීම පමණයි. එහෙත් හදිසියේම අගමැති කාර්යාලය විසින් උපාධිධාරින් 16,800කට රැකියා ලිපි ලබාදෙනවා යැයි පසුගියදා ප්‍රකාශනයක් නිකුත් වුණා.

මේ යෝජිත ක්‍රියාව පිටුපස ඇති එකම හේතුව එලැඹෙන මැතිවරණය බව ඕනෑම කෙනකුට අතිශයින්ම පැහැදිලියි. ඒ ක්‍රියාවෙන් මේ රජය බලාපොරොත්තු වන්නේ මැතිවරණයේදී මේ රැකියාලාභීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාගැනීම බව අමුතුවෙන් විග්‍රහ කළ යුතු වන්නේ නෑ. වත්මන් රජය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය දෙස බලන ඕනෑම කෙනෙකුට මෙවැනි ක්‍රියාවක් මේ රජයෙන් පැහැදිලිවම අපේක්ෂා කළ හැකි බව
වැටහෙනවා.

පසුගිය අවුරුදු සිඟිපය තුළදිම අය සිදුකර ඇති එකම සාර්ථක ක්‍රියාව, හැකිතාක්
බොරුකීම සහ ජනතාව මුලා කිරීම පමණයි. මේ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නා  වූ ප්‍රයන්තයෙන්ද ඔවුන් කරන්නේ ඔවුන්ගේ සුපුරුදු න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කිරීම මිස ජතතා සුබසිද්ධියක් නොවන බව සක්සුදක් සේ පැහැදිලියි.
විශේෂයෙන්ම, රැකියා අවස්ථා ලබාදීම යම් ක්‍රියාපටිපාටියකට හෝ ක්‍රමවේදයකට අනුව පවතින ඇබැර්තු සලකා බැලීමෙන් කළ යුතු ක්‍රියාවක් බව සඳහන් කළ යුතුයි.

එහෙත්, කඩිමුඩියේ මෙවැනි ක්‍රියාවකට යොමු වන්නේ එවැනි වෘත්තිමය පසුබිමක් හරහා නොවෙයි.  මේ අවස්ථාවේදී වත්මන් රජයට තිබෙන එකම අරමුණ, ඉදිරියේදී එළැඹන මැතිවරණය පමණයි. මෙලෙස මැතිවරණයක් ඉලක්ක කරගනිමින් පක්ෂයට සහාය ලබාගැනීම සඳහා රට වැසියාගේ සහ බදු ගෙවන්නන්ගේ මුදලින්  වාසියක් ලබාගැනීමට තැත් කිරීම අතිශයින්ම පිළිකුල් සහගත ක්‍රියාවක් මෙන්ම, සමස්ත ජතතාවගේ සහ උපාධිධාරින්ගේද ඇස්වලට වැලි ගැසීමත් බව අවධාරණය කළ යුතුයි." යනුවෙන් පවසා සිටියේය.

-ෂමිල පෙරේරා-