ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරිමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් පිළිබඳව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවති විභාගයේ විවේක කාලය තුළදී පාර්ලිමේනතු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට බැන තර්ජනය කළ උපකාරක පන්ති ගුරුවරයකු
අධිකරණය බාරයට ගනු ලැබූ අතර ඔහු ලක්ෂ 5ක මුදල් සහ ශරිර ඇප දෙකක් මත මුදාහැරිමීට මහේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙසේ ඇප නියම වූයේ නුගේගොඩ උපකාරක පංති ගුරුවරයකු වන විමල් රෝහණ කෝඳාගොඩ නමැත්තාටය.
මොහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රයක් සකස් කර එය ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අගවිනිසුරුවරු නීතිපතිවරයාට නියෝග කළේය.

නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සැකකරු සහ තවත් පුද්ගලයකු ගොනු කළ පෙත්සම් විහාගයට ගන්නා අතරතුර ඊයේ පෙරවරු
11.30ට ලැබුණු විවේක කාලයේදි මොහු තමාට බැන තර්ජනය කළැයි විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේය.

මෙම පැමිණිල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන  මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර. ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමෙන් පසුව මෙම නියෝගය ලබාදෙන ලදි.

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙසේ ද පැවසීය.

"නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව උපකාරක පන්ති ගුරුවරයකු හා පියකු ගොනු කළ පෙත්සම් ඊයේ (01) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 අධිකරණ ශාලාවේදි විභාගයට ගනු ලැබුවා.

පෙත්සම් විභාගය කෙටි විවේකයක් සඳහා පෙරවරු 11.30ට නැවැත්වුවා. ඊට මද වේලාවකට පසුව මෙම උපකාරක පත්ති ගුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මඩුල්ල අසුන් ගන්නා ස්ථානයට පැමිණියා. ඒ අවස්ථාවේදී මා (විජයදාස රාජපක්ෂ මහතා) අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය සමග කතාබහක නියැලී සිටියා.
ඒ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා, නීතිඥ කනිෂ්ක විතාරණ සහ ඔවුන්ගේ කනිටු නීතිඥවරුන්ද එහි සිටියා. ඒ ස්ථානයට ආ උපකාරක පන්ති ගුරුවරයා මා ළඟට පැමිණ

"ඔයාගේ ළමයින්ට මම ඉරිදා ටියුෂන් පන්තිවල උගන්වලා තිබෙනවා. ඔයාගේ දේශපාලන ජීවිතය විනාශ කරනවා යැයි තර්ජන කළා.''

විජයදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ල අනුව උපකාරක පන්ති ගුරුවරයා අධිකරණය බාරයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අධිකරණය කටයුතු අවසන් වන තුරු ඔහු රඳවා තබා ගන්නා ලෙස පොලිස් නිලධාරියකුට නියෝග කළේය.

අධිකරණ කටයුතු අවසන් වූ පසුව මෙම සිදුවීම පිළිබඳව කරුණු දැක්වූ අගවිනිසුරුවරයා සිද්ධිය පිළිබඳව ලිඛිත ප්‍රකාශයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට දැනුම් දුන් අතර ඒ අනුව රාජපක්ෂ මහතා ලිඛිත ප්‍රකාශයක් ලබා දුන්නේය.  පසුව අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ද, රජයේ නීතිඥ සුරේන් ඥානාරාජ්, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, නීතිඥ කනිෂ්ක විතාරණ යන මහත්වරුද මේ පිළිබඳව අධිකරණය හමුවේ කරුණු තහවුරු කළහ.

මෙය බරපතළ සිද්ධියක් බවත්, එය අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකන බවත් පැවසු අගවිනිසුරුවිරයා, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් සකස් කර එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.

ඉන්පසුව උපකාරක පන්ති ගුරුවරයා රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද ඔහුට නියම කරිණි.

-රංජන් කටුගම්පොළ-
-තිළිණි ද සිල්වා-