සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ තාවකාලිකව නතර වී සිටි පාකිස්තානු ජාතික පවුලක දින 26 වයසැති බිළිඳෙකු ගිලන්ව රෝහල් ගත කිරිමට පෙර මියගොස් තිබෙන බැව් මිගමුව
පොලිසිය කියයි. මියගොස් තිබෙන්නේ ජමාල් අහමද් (දින 29 යි) නමැති පිරිමි දරුවකි.

මෙම බිලිඳාගේ මව වන අස්රොප් ෆරීනා මහත්මිය ඇතුළු පවුලේ  උදවිය සංචාරයක් සඳහා පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණ තිබෙන්නේ 2019 ජුලි මස 12 වැනිදායි.
ශ්‍රී ලංකාවට එන විට ෆරිනා
මහත්මිය ගැබිනියකි. ෆරිනා මහත්මිය ඇතුළු පිරිසක් මිගමුව පෙරියමේල යොන් විදියේ තාවකාලික නිවසක් කුලියට ගෙන එහි පදිංචිව සිට ඇති බවත් 23.8.2019 වැනි දින ෆරිනා මහත්මියගේ බිලිඳා හදිසියේ අසනීප වී පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවත් පොලිස් විමර්ශන වලදී හෙළි වි තිබේ.

මෙම බිලිඳාගේ රෝගී තත්වය උත්සන්නව 24 වැනි දින රෝහල්ගත කරන විටත් බිලිඳා මියගොස් සිටි බැව් ද වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී තිබේ. මිගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උදය කුමාර වුට්යර් මහතාගේ අධීක්ෂණය මත පරික්ෂණ පැවැත්වේ.

-හියුබට් ප්‍රනාන්දු-