සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික  පක්ෂය නියෝජනය කරන්නේ අද ජනාධිපති අපේක්ෂයකු ලෙස ඉදිරියෙන්ම සිටිනවා යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (24) හම්බන්තොටදී පැවසීය.  උදාගම්මාන 400 කට ආසන්න ප්‍රමාණයක් ජනතා අයිතියට පත් කරමින් සිය
පියාණන් වන  රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගෙන ගිය උදාගම් සංකල්පය ඉදිරියට ගෙනයාමට සජීත් ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බවද රාජීත ඇමැතිවරයා කීය.

ඖෂධ ආනයකරුවන්ගේ සංගමයේ 18 වන සමුළුව සහ 2019 විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන ප්‍රධානෝත්සවය පෙරේදා හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැති අතර එහිදී රාජිත සේනාරත්න මහතා එම අදහස් පළ කළේය.සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වී සිටි එම උත්සවයේදී රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. ප්‍රථමයෙන්ම මම සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා.

මගේ ආරාධනාව පරිදි මෙම උත්සව අවස්ථා සහභාගිවීම සම්බන්ධව.

විශේෂයෙන්ම විදෙස් දූත පිරිස්වල දැනගැනීම පිණිය මම සජීත් ඇමැතිතුමා ගැන කිව යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතණුවන්. ප්‍රේමදාස මහතා 1993 දී ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වුණා.ප්‍රේමදාස ජනාධිපතිතුමා 1988 පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා.  දකුණේ සහ උතුරේ කලබල පැවැති සමයක තමයි ඔහු  ජයග්‍රහණය කළේ.

සිය පියාගේ අභායෙන් පසුව දේශපාලනයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, නියෝජ්‍ය අමාත්‍යරයකු ලෙසත්, අමාත්‍යවරයකු ලෙසත් තේරී පත්වුණා. රණසිංහ  ප්‍රේදාස මහතාගේ සමයේදී ඔහු විසින් ගම්උදා සංකල්පය ක්‍රියාත්මක කළ අතර එය ඉදිරියට ගෙන යාමට මෙතුමා කටයුතු කරනවා.  එමෙන්ම ජනසවිය වැඩසටහන හරහා රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට දුගී ජනතාවට විශාල සේවාවක් කළා.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනතා මෙහෙවර 2015 වසරේ සිට සජිත් ප්‍රේමදාස මහතා විසින් යළි ආරම්භ කළ අතර මේ වන විට උදා ගම්මාන 400 කට ආසන්න ප්‍රමාණයක් ජනසතු කරමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයනවා. අද වන විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එතුමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරියෙන්ම සිටින අතර ඔහු  එම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරනවා. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන එම දිස්ත්‍රික්කයේ ප්‍රතිවාදියෙකු ලෙස කටයුතු කරනවා.

මෙහිදී අදහස් දැක් වූ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා :
ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් සමග මේ සැඳෑභාගය ගත කරන්න ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. මෙම අවස්ථාවේ

මගේ පූර්ණ ගෞරවය හා ප්‍රණාමය සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට මම පුද කරනවා.

විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ දේශපාලන අයිතිය හා සිවිල් අයිතීන් විශේෂ ආගමික, සමාජීය, සංස්කෘතික අයිතීන් සුරක්ෂා කිරීමේ ගමනේදී අමාත්‍යාංශයක් හැටියට පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කාර්යශුර, කාර්යක්ෂම සේවයක් ඉෂ්ට සිද්ධ කිරිමේදී අමාත්‍යාංශ අතරින් පොදුජන සේවාව තුළ ඉහළම තලයට ඇවිත් තිබෙනවා.

රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දරාගත හැකි මිලකට රටේ ඖෂධ ලබාදීමේ සාර්ථක වූ ක්‍රියාදාමය ගැන අප සියලු දෙනාගේ ප්‍රශංසාව හා ශීර්ෂ ප්‍රණාමය සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මැතිතුමාට මේ මොහොතේ පුද කරනවා. මෙහෙදී ඖෂධ ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අගයමින් සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය සිදුවූ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කරන මෙහෙය අගයා සමරු සිහිවටනයද ප්‍රදානය කරන ලදි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම්. රූමි, කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය එම්.වයි.කේ. විල්ප්‍රඩ්, සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ ඖෂධ ආනයනකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.