දින හතරකට පමණ පෙර මිය ගිය බවට සැක කරන කාන්තා මළසිරුරක් පාදුක්ක නාකන්දල පාර කහවල ප්‍රදේශයේ නිවසක තිබියදී පෙරේදා (26දා) හමුවු බව පාදුක්ක පොලීසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ
පාදුක්ක, කහවල, නාකන්දල පාරේ පදිංචි කුරුප්පු ආරච්චිගේ දයාවතී (65) අවිවාහක කාන්තාවක බව පොලීසිය පවසයි.

මිය ගිය කාන්තාව දින හතරක පමණ සිට නොදුටු නිසාවෙන් අසල්වාසියෙකු නිවස අසලට ගොස් විපරම් කිරීමේදී නිවස තුළින් දුගඳ හැමීම පිළිබඳව සැක සිතී අසල්වාසීන්ටද
මේ බව දන්වා ඇති අතර නිවස තුළට ගොස් පරික්ෂා කිරීමේදී ඇය එහි වැටී මිය ගොස් සිටිනු දැක ඇත.

පොලීසිය පවසන්නේ පොලීසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී අධික දුගඳක් හමමින් තිබූ නරක් වූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බවත්, මළසිරුර සොයාගන්නා අවස්ථාව වන විටත් හඳුනාගැනීමට පවා නොහැකි තරම් ඉදිමී තිබූ බවත්,ඇය දින 04කට පමණ පෙර මිය යන්නට ඇති බවත්ය.

පසුව මෘත දේහය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරික්ෂක සාමවිනිසුරු බී.එච්.කේ. චින්තක උදය කුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතය.

මේ පිළිබඳව පාදුක්ක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මත්තෙගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර