නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120 ක පමණ මුදලක් අතුරුදන්ට ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක්
පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

විදුලිබල බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරිමකින් අනතුරුව අගමැතිවරයා මෙම පියවර ගෙන තිබේ. 
ඉකුත් අගහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට පෙරාතුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත්  මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා අගමැතිවරයාට කරුණු ඉදිරිපත්කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120 ක පමණ මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අගමැතිවරයා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පැවරූ බව ඇමැති රවි කරුණානායක මහතා තහවුරු කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් විශාල මුදලක් සිය පෞද්ගලික ප්‍රචාරණ කටයුතු සඳහා යොදවන බවට ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ඉකුත් කාලයේදී චෝදනා එල්ල විය.

-කැළුම් බණ්ඩාර-