https://www.gossiplankanews.com/2019/08/national-hero-naming-in-trouble.html
ගෝටයිම්බර, නන්දිමිත්‍ර, කොහුකුඹුරේ රටේ රාළ, කිවුලේගෙදර, බූටෑවේරටේ රාළ සහ හිටි හාමි යන ජාතික වීරයින්ගේ නම් ලංකාවට අවේණික බවට අලුතින් සොයාගත් හූනන් කිහිපදෙනෙකුට ලබාදීම මේ දිනවල කථාබහට ලක්ව තිබේ.ජාතික වීරයින්ගේ ප්‍රෞඩත්වයට එයින් අගතිදායි අදහසක් මතුවන බව
මේ ගැන විවේචනය කරන අයගේ අදහසයි.
නමුත්  වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ වීරවරයින්ට ගෞරව කිරීමට මෙය කළ බවකි.
පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන්  අදහස් පළවු අතර ජාතික වීරයින් අවඥාවට ලක් කිරීමක් සිදුව ඇති බව කියැවුණි.
 මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් හූනන්ට නම්තැබූ පරිසරවේදී සමීර සුරංජන් කරුණාරත්න මෙසේ කියා ඇත.

"ඌව වෙල්ලස්ස කැරැල්ලට වසර 200ක් වුණා.  මට අවශ්‍යතාව තිබ්බේ ඒ වීරවරයන් සදා අමරණීය කරමින් ඔවුන්ට ගෞරවයක් දක්වන්න. විද්‍යාවෙනුත් ඒ නම ඉදිරියට ගෙනියන්නයි ඕන වුණේ. ඒ නිසා තමයි මේ නම් තැබුවේ. වෙන රටක සතෙක්ව කාගෙ හරි නමකින් නම් කරනවා නම් ඒක නයිට් නායමක් හා සමාන වටිනාකමක් ගෞරවයක් ඒ පුද්ගලයාට හිමි වෙනවා. මේ නම් තැබීම හරහාම
සමහර අය අපේ ජාතික වීරයන් කියලා මෙහෙම අය හිටියා කියලා අවබෝධ කරගන්නත් ඇති"

වනජීවි දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් යටතේ  2018 වසරේ සිට සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල මත මෙම හූනන් විශේෂ 6 වෙන් කර හඳුනාගෙන තිබුණි.
කුඩුම්බිගල, මොනරාගල පිහිටි මරගල කන්ද , පදියතලාවේ කොකාගල කන්ද , කඩුගන්නාවේ උමඟ ආශ්‍රිත ප්‍රදේශය, බඹරකොටුව වනාන්තරය සහ වලපනේ කීර්ති බණ්ඩාරපුර ආශ්‍රිතව මෙම පර්යේෂණ සිදුකර තිබුණි.

මෙම හූණු විශේෂයේ ඝන නාමය Cnemaspis නම් වන අතර ශ්‍රී ලංකාවේ නමක් තැබූ වීරවරයන්ගේ නම්වලින් ඔවුන් නම් කර ඇත. ඒ අනුව ගෝටයිම්බර යෝධයා නමින් Cnemaspis gotaimbarai sp.Nov ලෙසද, නන්දිමිත්‍ර යෝධයා නමින් Cnemaspis nandimithrai sp.Nov ලෙසද , ඌව වෙල්ලස්ස සටනේදී වීරයන් වූ කොහුකුඹුරේ රටේ රාල නමින් Cnemaspis kohukumburai sp.Nov ලෙසද, බූටෑයේ රටේ රාළ නමින් Cnemaspis butewe sp.Nov ලෙසද, කිවුලේගෙදර මොහොට්ටාල නමින් Cnemaspis kivulegedarai sp.Nov ලෙසද, හිටිහාමි රටේ රාල නමින් Cnemaspis hitihami SP.Nov ලෙසද මෙම සතුන් නම් කර ඇත.