ඔප්පු නැති ලක්ෂ 25 ක් ජනතාවට ඔප්පු ලබාදීමේ රජයේ ඉඩම් පනත අස්කරගන්නා බව ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී කීය.
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ 5 වැනි යෝජනා ලෙස මෙය ඇතුළත් කර තිබිණි. පනත් කෙටුම්පත ඉල්ලා
අස්කර ගන්නා බව කියමින් ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය. රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අපි ඉල්ලා අස්කර ගන්නවා. අපේ බලාපොරොත්තුව වුණේ ඉඩම් ඔප්පු නැති ල‍ක්ෂ 25ක ජනතාට ඔප්පු දෙන්න. ඔවුන්ට ඉඩම්වල සින්නක්කර අයිතිය දෙන්න අපි පනතක් ඉදිරිපත් කළා.

නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරු උසාවි ගිහින් ඒක නැවැත්වූවා. ඒ නිසා දැන් නෛතික ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. නමුත් අපේ චේතනාව වුණේ ඔප්පු නැති ලක්ෂ 25ක ජනතාවට සින්නක්කර අයිතිය දෙන්න. එතකොට ණයක් ගන්න. ඉඩම දියුණ කරන්න හෝ විකුණන්න පුළුන්. නමුත් විපක්ෂය ඒක නැවැත්වූවා. සාමාන්‍ය මිනිසුන්ට ඉඩම් අයිතිය ලබාදෙන්න හදනකොට විපක්ෂය විරුද්ධ වුණා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා : සභාපතිතුමා කියන කාරණය නොවෙයි වුණේ.මේ රට කෑලිවලට කඩා මේ මහ පොළොවේ විජාතික කරන්න මේ පනත හරහා ආණ්ඩුව ගත් තීරණය විපක්ෂයෙන් වැළැක්වූවා. මෙය අපේ ජයග්‍රහණයක්.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා : මේ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තීන්දු කළේ රජය විසින් නිසි ක්‍රමවේදය අනුගමනය නොකළ නිසයි.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා : ජනතාවට සින්නක්කර ඔප්පු දෙනවට අපි පිරුද්ධ නැහැ. අපි විරුද්ධ මේ හරහා විදේශිකයන්ට මේ රටේ ඉඩම් කුණු කොල්ලයට අයිති වෙනවිටයි. පුළුවන්නම් විදේශිකයන්ට සින්නක්කර ලෙස ඉඩම් මිලදි ගැනීමට බැරිවන ලෙස මේක ගේන්න. එතකොට අපි පූර්ණ වශයන් සහයෝගය දෙන්නම්.