පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක මහින්ද රාජපක්ඹ අද (1) දින වැටුප් වැඩිකිරීම් පැහැරහැරීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

2019 අය-වැය යෝජනා අනුව රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා රු.2500 ක මාසික දීමනාවක් ලබා දුන්නද අර්ධ රජයේ ආයතන ලෙසින් සැලකෙන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරී යන ආයතනවල සේවකයින් වෙත මේ දක්වා එම රුපියල් 2500 ලබා නොදීම බරපතල අසාධාරණයකි. මෙම අසාධාරණය වහාම නිවැරදි කරන ලෙසට අපි ආණ්ඩුවට බල කරමු

අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මෙම රු.2500ක මාසික දීමනාව ලබා නොදෙන්නේ මන්දැයි ආණ්ඩුව මෙම ගරු සභාවට දැනුම් දිය යුතුයි.

2019 වර්ෂය සඳහා වූ අය-වැය යෝජනා ඉදිරිපත් කිරීමේදී
රාජ්‍ය අංශයේ සේවක පිරිස්වලට රු.2500 ක මාසික දීමනාවක් 2019 ජූලි මස සිට ලබාදීමට අනුමැතිය ලැබී තිබෙනවා.  රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක.09/2019 අනුව ගෙවීම් කටයුතුද සිදුකර තිබෙනවා.

මෙම රු.2500 ක මාසික දීමනාව රජයේ සේවකයින්ට පමණක් ලබා දීමට මෙවර ක්‍රියාත්මක කළත්, රාජ්‍ය සංස්ථා හා අර්ධ රාජ්‍ය ආයතන සේවක පිරිස්වලටද එකී වැටුප් වැඩිවීම ලබාදීමට මීට පෙර සිටි සෑම රජයක්ම ක්‍රියාකර තිබෙන බව මෙහිදී සිහිපත් කිරීමට කැමතියි.

මීට අමතරව අය-වැය යෝජනාවක් මඟින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමකදී එම ප්‍රමාණය නොවූවද යම් ප්‍රමාණයකින් හෝ පෞද්ගලික අංශයේ සේවක පිරිස්වල වැටුප් වැඩි කිරීමට ද මීට පෙර අප නියෝජනය කළ ආණ්ඩු කටයුතු කර ඇත.  ඒ අනුව මුදල් අමාත්‍යවරයා හා කම්කරු අමාත්‍යවරයා විසින් පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කර එම අංශවල වැටුප් වැඩි කිරීමට අපට හැකි විය.

නමුත් අවාසනාවකට වත්මන් ආණ්ඩුව යටතේ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට කිසිදු සාකච්ඡාවක් තබා ඒ ගැන  සිතාවත් නොමැතිවීම කණගාටුවට කරුණකි.  එබැවින් පෞද්ගලික අංශයටද යම් සාධාරණ වැටුප් වැඩිවීමක්
ලබාදීමට හැකි ආකාරයකින් ආණ්ඩුව තම උපරිම මැදිහත්වීම ලබාදිය යුතුව ඇත.   

එපමණක් නොවෙයි මේ ආණ්ඩුව බලයට පැමිණීමට වතුකරයේ ජනතාවගේ ඡන්ද බලයද උපයෝගී කරගත්තත් ආණ්ඩුව වසර 4 ½ ක් තිස්සේ වතුකරයේ ජනතාව රැවටූ බව ප්‍රකාශ කරන්නේ මෙම ආණ්ඩුවම නියෝජනය කරනු ලබන වතුකරයේ නායකයින්වීම අභාග්‍යට කරුණකි.

දෛනික දීමනාව රු.1000 ක් කරන බව ප්‍රකාශ කරමින් දිගින් දිගටම වතුකරයේ ජනතාව තවදුරටත් රැවටීමට ක්‍රියා නොකරන ලෙසද අපි ආණ්ඩුවට දැනුම් දෙන්නෙමු. 

ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා අනුව, අප රටෙහි සේවකයින්ගේ මූලික වැටුප පහත වැටී ඇති බැවින්, අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට රු. 2500 ක මාසික දීමනාව ලබාදීමටත්, පෞද්ගලික අංශයේ හා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමටත් වහාම ආණ්ඩුව මැදිහත් විය යුතුව ඇත.

2019 ජූලි මස සිට රාජ්‍ය අංශයට ලබා දුන් එම දීමනාව අර්ධ රාජ්‍ය අංශයන්හි සේවකයින්ටද  වහාම ලබාදීමට කටයුතු කරන ලෙස එකී සේවකයින් වෙනුවෙන් ඉල්ලා සිටින අතර ඒ සම්බන්ධව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මෙම ගරු සභාවට පැහැදිලි කරන ලෙසත්  ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.