තමන්ට ඒඩ්ස්රෝගය වැළඳී ඇති බව පරීක්ෂණ වලින් සනාථවූ පසු එම රෝග තත්වය සඟවා කාන්තාවන්ට එම රෝගය බෝකරවීමේ අරමුණින් ලිංගික හැසිරීම් වල යෙදුණ බව හෙළිවීම නිසා පුද්ගලයෙකු වසර 10 ක සිර දඩුවමකට ලක්වූ පුවතක් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තාවේ.
කාන්තාවන් දෙදෙනෙකු මේ
සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා සිටියේ Rasheem Ikey Bodiford නමැති 27 හැවිරිදි මෙම පුද්ගලයා 2016-2017 අතර කාලයේ තමන් දෙදෙන ශාරීරිකව ඇසුරු කළ නමුත් ඒඩ්ස් ආසාදිත තත්වය දැනදැන සැඟවූ බවයි.

මේ හේතුවෙන් ඔහුගේ පෙම්වතියන් වශයෙන් සිටි එම කාන්තාවන් දෙදෙනාටද ඒඩ්ස් රෝගය වැළඳී තිබේ.
එක් කාන්තාවකට ඒඩ්ස් රෝගයේ ලක්ෂණ පහළවූ පසු මෙම සැකය මුල්වරට මතුවූ අතර ඒ ගැන වෛද්‍ය උපදේශ මත සිදු කළ සොයා බැලීමේදී මෙම පුද්ගලයා පාවිච්චි කරන බෙහෙත් වර්ගයක් ඔස්සේ ප්‍රශ්න කිරීමේදී ඔහුට ඒඩ්ස් ඇති බව දැනදැනම මෙම වරද කර ඇති බවට කරුණු සනාථ විය.

2016 අවසන් වරට ඇමරිකාවේ සිදු කළ සමීක්ෂණ අනුව එරට ජනගහණයෙන් මිලියන 1.1 කට ඒඩ්ස් රෝගය වැළඳී තිබෙයි. එසේම ඒඩ්ස් වැළඳී තිබෙන ඇමරිකානුවන්ගෙන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු තමන්ට ඒඩ්ස් බව නොදන්නා බවද අහම්බෙන් දැනගන්නා බවද වාර්තාවේ.