වැඩිහිටියෙකු විසින් ලබාදුන් මත්වතුර පානය කළ වයස අවුරුදු 13 ක දරුවා මාධ්‍ය මගින් හෙළි කළ දර්ශන අනුව අනාවරණය කර ගැනීමට කුලියාපිටිය පොලිසියට හැකිව තිබිණ.
 කුලියාපිටිය කෝන්ගහගෙදර ප‍්‍රදේශයේ පදිංචි එම දරුවා වහාම වැඩිදුර විමර්ශන සඳහා කැටුව එන ලෙසට (7 දා) පොලිසිය ඔහුගේ මවට දැනුම්දී තිබිණි.

 
කුලියාපිටිය කෝන්ගහගෙදර ප‍්‍රදේශයේ දිළිඳු පවුලක දැරුවෙකු වූ ඔහු මානසික වර්ධනයේ ගැටලූවක් නිසා පාසල හැරගිය අයකු බව පැවසේ. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනය කර දරුවා වෙනුවෙන් සුදුසු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

 සිද්ධියට සම්බන්ධ වයස්ගත පුද්ගලයාද කුලියාපිටිය ඌරුපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු පොලිසිය මගින් අනාවරණය කරගෙන ඇති අතර ඔහු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිසිය පවසයි. මාධ්‍ය මගින් හෙළිකර තිබූ තොරතුරු ඔස්සේ කළ විමර්ශන අනුව යමින් එසේ එම පුද්ගලයා අනාවරණය කරගෙන ඇතත්, තැන තැන ගොස් බේකරි කර්මාන්තයේ යෙදෙන බව කියන ඔහු සිද්ධිය ප‍්‍රචාරයවූ දින පටන් මේ දක්වා නිවසට නොපැමිණි බව ඥාතීහු පවසති. එම පුද්ගලයා සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 මේ පිළිබඳව කුලියාපිටිය මූලස්ථෘන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සාචිත‍්‍රි සිරිමාන්න මහත්මිය ඇතුළු පිරිසක් බුද්ධි නිලධාරීන්ගේද සහය ඇතිව වැඩිදුර විමර්ශන සිදුකරති.

 කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ