ජනතා විමුක්ති පෙරමුණ පුමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවට වාර්තා වේ.දේශපාලන පක්ෂ හතරක් හා විද්වතුන්, කලාකරුවන් ඇතුළු සංවිධාන 26කට වැඩි ප්‍රමාණයකින් සමන්විත ජාතික ජන
බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා
මේ මස 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

ගොඩනගා තිබෙන ජාතික ජනබලවේගය ජනාධිපති නියෝජනය කරන අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට එහි සාමාජික කණ්ඩායම්වල වැඩිම කැමැත්ත වී ඇතැයිද කියවෙයි. මේ අනුව ජාතික ජනබලවේගය ජනාධීපති අපේක්ෂකයා ලෙසට ජනතා විමුක්ති පෙරමුණෙ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.‍

මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණින් ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගෙන් කළ වීමසීමකදී ඔහු සඳහන් කළේ, ජනාධිපති අපේක්ෂකයා තේරීම ජාතික ජනබලවේගය නියෝජනය කරන කණ්ඩායම් සමග සාකච්ජා කර තීරණය කරන බවයි. අපේක්ෂකයා කවුරුන්ද යන්න දැනට කීමට නොහැකි වුවත්, මේ මස 18 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජනබලවේගය මංගල රැලියේදී එය ප්‍රකාශයට පත් කරන බවද ඔහු පවසා සිටියේය.

ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාට කිසිදු උසාවියක නඩු නොමති සේම වරදකරුවකුද වී නොමැති බවත්, ඔහු මූල්‍ය විනය, පරිපාලන විනය හා නායකත්ව පරිණතභාවය සහිත රට හදන්නට හැකි ප්‍රතිපත්තියක් සහිත පුද්ගලයෙකු බවත් හෙතෙම සඳහන් කළේය.

-ඉන්දික හේවාවිතාරණ-