විහාරස්ථානයක කාමරයක් තුළ මිනී ඇට සැකිල්ලක් තබාගෙන සිටි බව කියන ස්වාමීන් වහන්සේ නමක් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා 11 වැනිදා සවස නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ තබ්බෝව තේවණුරුව ශ්‍රී විශුද්ධාරාම
විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටි ස්වාමීන් වහන්සේ නමකි.විහාරස්ථානයේ කාමරයක් තුළින් හමා යන දුර්ගන්ධයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කරුවලගස්වැව පොලිසියට 11 වැනිදා දහවල් පැමිණිලි කර ඇත.

ඒ අනුව විහාරස්ථානයේ කාමරයක් තුළ තිබූ මිනී ඇටසැකිල්ල පොලිසිය සොයාගෙන තිබිණි.
පසුව මිනී ඇටසැකිල්ල ළඟ තබා ගෙන සිටි බව කියන ස්වාමින් වහන්සේව ද පොලිසිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි. දින කීපයකට පෙර තේණුරුව ගම්මානයේ සොහොන් බිමක් හාරා මෙම ඇටසැකිල්ල ගොඩටගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

ගොඩට ගෙන ඇත්තේ වසර 3කට පමණ පෙර මිය ගොස් ඇති එම ගම්මානයේ පදිංචි වයෝවෘද්ධ අයකුගේ ඇටසැකිල්ලක් බව පොලිසිය හෙළිකර ගෙන ඇත. තේවණුරුව විහාරස්ථානයේ පසුගිය දිනවල පැවැති පින්කම් මාලාවක් අතර පවත්වා ගෙන ගිය හොල්මන් මන්දිරයක් සඳහා මෙම ඇටසැකිල්ල භාවිත කළ බව සැකකාර ස්වාමීන් වහන්සේ පොලිසිය හමුවේ පවසා ඇත.

පින්කම් මාලාව අවසන් වීමෙන් අනතුරුව ඇටසැකිල්ල නැවත වළනොදමා කාමරයේ තබාගෙන සිටියේ කුමන හේතුවක් සඳහාද යන්න මෙතෙක්  හෙළිවී නොමැති බව පොලිසිය කියයි. කරුවලගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.


-සමන්ප්‍රිය ජයශාන්ත-