අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන ජමාත් මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීන් බව කියන තවත් තිදෙනෙක් රාජ්‍ය බුද්ධි සේවාව් අම්පාර ඒ්කකය හා අම්පාර මුලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) අත්අඩංගුවට ගනු ලැබුහ. පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූ ජාතික තවුහිත් ජමාත්
සංවිධානයේ නායක සහරාන් යටතේ මේ තිදෙනා නුවරඑළියේ පුහුණු කඳවුරක දී ගිනි අවි පරිහරණය හා පුපුරන ද්‍රව්‍ය පරිහරණය පිළිබඳ පුහුණුවක් ලබා ඇති බව අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මොවුන් සහරාන් පැවැත් වූ දේශනවලට සහභාගි වී එම මතවාදය ප්‍රචලිත කිරීමට ද හවුල් වී ඇතැයි පොලිසිය කියයි.  මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පේරාදෙණිය, ගෙලිඔය පදිංචි මොහොමඩ් මන්සූර්, සෙයිපුල්ලාහ්, මාවනැලේ වල්පොලදෙණිය පදිංචි මුස්තාන් අලි අම්හර් සහ කානගම, මාවනැල්ල පදිංචි මොහමදු කාහිර් හිදයතුල්ලා යන තිදෙනාය.

හිදයඇල්ල නමැත්තා ඔලුවිල් අග්නිදිග සරසවියේ ශිෂ්‍යයකු බවත් ඔහු සහරාන්ගේ නුවරඑළිය පුහුණු  කඳවුරට සහභාගි වී ඇති බවත් හෙළි වී ඇත.  මාවනැල්ලේ පදිංචි දෙදෙනා පසුගිය කාලයේ  මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශවල බුදුපිළිමවලට  හානි කිරීම් සිද්ධීන්වලට සම්බන්ධදැයි සොයා  බැලිමට පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වයි. ඉකුත් 3 වැනිදා අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්වවිද්‍යාල සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනෙක් මාවනැල්ල ප්‍රදේශයේ වන අතර අනෙක් සැකකරුවා ගෙලිඔය පදිංචිකරුවෙකි. ගෙලිඔය පදිංචි මොහමඩ් මන්සූර් සෙසිපුල්ලාහ් නමැත්තා සහරාන්ගේ නුවරඑළිය කදවුරට සහභාගි වී ඇති අතර අබු සහිඩ් යන අන්වර්ථ නාමය ඔහුට දී ඇතැයි ද මාවනැල්ල. වල්පොලදෙණිය පදිංචි මුස්තාන් අලි අම්හර් හම්බන්තොට පුහුණු කඳවුරට සහභාගි වී ඇති අතර ඔහුට අබු හින්ද් යන අන්වර්ථ නාමය දී ඇතැයි ද හෙළි වී තිබේ.

පසුගිය දින කීපය තුළ සහරාන්ගේ ක්‍රියාවන්වලට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ අර කාර්යාලයේ නිලධාරින්ට හැකිව තිබේ. ඉන් දෙදෙනෙකු ඔලුවිල් විශ්වවිද්‍යාල සිසුන් බවද ආරක්ෂක අංශ පචසයි.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-