කූටි ලෙස සකස් කළ ගුවන් ගමන්බලපත්‍ර,වීසා බලපත්‍ර සහ ගුවන් ප්‍රවේශපත්‍ර උපයෝගී කරගනිමින්  මාලදිවයින වෙත යන බව හඟවා, ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයකු ඊයේ (27දා) කටුනායක ගුවන්තොටුපොළ දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ ආගමන විගමන  නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 31 හවිරිදි යාපනය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු ඊයේ උදෑසන 10.00ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවත් යානයකින් ඩුබායි වෙත ගොස්, එතැන් සිට ප්‍රංශය බලා යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමෙන් පසු, විගමන අංශය වෙත පැමිණෙමින් සිටි මෙම තරුණයාගේ සැක කටයුතු ඉරියව් නිරීක්ෂණය කළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා ඔහු සතුව තිබූ ලේඛන පරීක්ෂා කිරීමේදී ඒවායේ තිබූ වෙනස්කම් කීපයක් හඳුනාගැනීමට සමත්ව තිබිණි.

තවදුරටත් පරීක්ෂාවට ලක් කරද්දී සැකකරු සතුව තිබූ ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය සමග කටුනායක සිට මාලදිවයින දක්වා ගමන් කළ හැකි ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් ප්‍රවේශ පත්‍රයද සොයා ගැනීමට ආගමන විගමන නිලධාරීහු සමත්ව තිබිණි.

වැඩිදුරටත් මෙම තරුණයාගත් ප්‍රශ්න කිරීමේදී සහ සෝදිසි කිරීමේදී මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ තරුණයෙකු වෙත ප්‍රංශය ඔස්සේ ස්පාඤ්ඤය වෙත යැම සඳහා නීත්‍යානුකුලව නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් වෙනස් කාට මෙම සැකකරුගේ තොරතුරු මුද්‍රණය කළ වෘත් වීසා බලපත්‍රයක්ද සොයාගැනීමට ආගමන විගමන නිලධාරින්ට හැකිව තිබිණි.

-ටී.කේ.ජී.කපිල-