මාදු ගඟේ සංචාරයේ නිරත මෝටර් බෝට්ටු සඳහා ඉන්ධනයක් ලෙස භූමිතෙල් යොදා ගැනීමෙන් මේ වනවිට මාදු ගඟ දූෂණය වී ඇතැයි එහි ධීවර කර්මාන්තයේ නිරත පිරිස් පවසති.
මේ කාර්යය නිසාම භූමිතෙල් ගඟට මුසුවීමත් සමග මාදු ගඟේ ජලය දූෂණය වීමෙන් තම ජීවයිනෝපායටද බලපෑම් එල්ල වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

උද්ගතව ඇති මෙම තත්වය මත මාදු ගඟෙන් නෙළාගන්නා මත්ස්‍ය අස්වැන්නද භූමිතෙල් රසකින් යුක්ත වීම හේතුවෙන් තම මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීම පාරීභෝගිකයන් ප්‍රතික්ෂේප කිරීමත් සමග තම කර්මාන්තය දැඩි අනතුරකට ලක්ව  තිබෙන බවද ධීවරයෝ කියති.

මාදු ගඟ දූෂණය වීම වළක්වාලීමේ අරමුණින් මාදු ගඟේ සංචාරක මෝටර් බෝට්ටු සංගමයේ සංචාරක මෝටර් බෝටිටු කිහිපයක් පමණක් භූමිතෙල් වෙනුවට පෙට්‍රල් භාවිත කරමින් මෝටර් බෝට්ටු යෙදෙව්වත් එම සංගමයට අයත් නැති තවත් මෝටර් බෝට්ටු විශාල සංඛ්‍යාවක් මෙසේ  භූමිතෙල් භාවිත කර බෝට්ටු ධාවනයේ යෙදෙන බවද පරිසරවේදීහු කියති.

තවදුරටත් භූමිතෙල් ඉන්ධනයක් ලෙස යොදාගෙන මෝටර් බෝට්ටු ගඟේ ධාවනය කළහොත් මාදු ගගේ මත්ස්‍ය සම්පත වඳවීයාම වළක්වාලීම දුෂ්කර කාර්යයක් වන බවත්, මේ අනතුරින් මේ වනවිට ගඟට ආවේණික මත්ස්‍ය වර්ග රැසක්ම වඳවී ගොස් ඇති බවත් ඔවුහු කියති.

අදාළ බලධාරීන් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කොට මාදු ගඟේ භූමිතෙල් ඉන්ධනයක් ලෙස භාවිත කරමින් තවමත් ධාවනයේ යෙදෙන මෝටර් බෝට්ටුවලට පෙට්‍රල් ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට  වැඩපිළිවෙළක් සකසාදීම නුදුරේදීම කළ යුතු බවද පරිසරවේදීහු කියති.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.සමන් සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසූවේ මේ ගැන අධ්‍යයනයක් සිදුකොට ඊට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

කරන්දෙනිය -  එම්.සුසිල් ප්‍රියන්ත