ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරි පත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ ලේකම්වරයා ගොනු කළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

එම නියෝගය නිකුත් කළේ, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලයි.
මෙයට ප්‍රතිචාර ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. ඔක්තෝබරයේ ඡන්දය පැවැත්වීමට හැකිවෙතැවි ඔහු දන්වා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා කලින් තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව පවසමින් එම ප්‍රතික්ෂේප කළ නාම යෝජනා පිළිගැනීමට නියෝග කරන ලෙස ඉල්ලමින් එම පෙරමුණ මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.

එම රිට් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ එම නාම යෝජනා භාරගෙන ඒවා පිළිගෙන මැතිවරණයට ඇතුළත් කර මැතිවරණය පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාට හා මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ (30) නියෝග කළහ.