https://www.gossiplankanews.com/2019/08/6-arrested-palei-doctor.html
අත්අඩංගුවේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලට අනුව තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, අත්අඩංගුවේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා සිවරුබන් විසින් ප්‍රභූ ඝාතන දෙකක් හෙළිකර තිබෙන බවට ගෙනයන ප්‍රචාර ද අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.

ත්‍රස්ත විර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් වෛද්‍යවරයාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී හිටපු ජනාධිපති

මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකර ඇතැයි ප්‍රකාශ පළවෙමින් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කළ සින්නයියා සිවරූබන් අත්අඩංගුවට ගත් බවත්, ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට අනුව තවත් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

මෙම හත් දෙනාගෙන් මේ වන විට සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට අනුව එවැනි ඝාතන සිද්ධියක් පිළිබඳ ප්‍රකාශ කර නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

වෛද්‍ය සින්නයියා සිවරූබන්ගේ ප්‍රශ්නකිරීම්වලට අනුව සින්නමනී තනේශ්වරන්, ඉරන්තිරම් ක්‍රිෂ්ණරාසා, මෝහන සුන්දරම්, විනාගමුර්ති නෙජලන්, වී. නිමලරාජ් සහ රූබන් ජතුසන් යන 06 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් පරික්ෂණ පවත්වමින් තිබේ.

වෛද්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව පසුගියදා පුපුරන ද්‍රව්‍ය, පතොරම් හා අවි ආයුධ කිහිපයක් සොයාගනු ලැබිණි.

ඉන්දික හේවාවිතාරණ